පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    මෙවර අනුරාධපුර පොසොන් උත්සවය සැමරීම ගැන සාකච්ඡාවක්

    මැයි 27, 2022

    පවතින අර්බුද හමුවේ වුවද පොසොන් සැමරුම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී.

    මෙවර එය පැවැත්වෙන්නේ 2330 වන වරටයි. මිහින්තලාව , අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ. මෙවර පොසොන් පොහොය ජුනි මස 14 වනදාට යෙදී තිබේ. ඒ අනුව ජුනි මස 11 වනදා සිට 17 වනදා දක්වා පොසොන් සතිය වශයෙන් නම් කොට ඇත. 2022 වසරේ පොසොන් උත්සව තේමාව වන්නේ “ වෛරය පිටු දකිමු ,, යන්න යි.

    පොසොන් උත්සවය පිලිබඳව සාකච්ඡාකරන දෙවන රැස්වීම (25) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය. ඒ අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ සහ අටස්ථාන විහාරස්ථාන භාර නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්.

    වෙන වසරවල දී පොසොන් උත්සවයට සහය දැක් වූ බොහෝ ආයතන වලට මෙවර එය සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් පවතී. එහෙත් කෙසේ හෝ යම් මට්ටමකින් පොසොන් උත්සවය පැවැත්වීම පොසොන් කමිටුවේ අරමුණ වී තිබේ. එම නිසා පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳමන් කරන්නේ ප්‍රතිපාදන වලින් තොරව අදාල ආයතන වලින් යම් සහයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මීට අමතරව පරිත්‍යාගශීලීන් හරහා මුල්‍ය දායකත්වයක් ලබා ගැනීමට ඇති හැකියාව පිලිබදව ද සාකච්ඡා කෙරිණි.

    කෙසේ වෙතත් චාරිත්‍රානුකූලව පොසොන් උත්සවය සිදුකරන ආකාරයට අනුව ජුනි 10 වනදා සවස ඉසුරුමුණි විහාරයෙන් පැන් පෙරහැර ආරම්භ කර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසට ගමන් කරයි. එදින රාත්‍රීයේ සිට මහ මෙව්නා උයනේ පිහිටි විශේෂ පිරිත් මණ්ඩපයේ දී සති පිරිත ඇරඹේ.

    පොසොන් පොහෝ දිනය යෙදෙන ජුනි 14 වනදා ශීල සමාදානයන් ඇතුළු ආගමික වතාවත් රැසක් සංවිධානය වේ. අටමස්ථානය කේන්ද්‍ර කරගෙන සිල් සමාදන් වන 20000 ක පමණ පිරිසට පොහෝ දා හීල් දානය සැපයීම සුපුරුදු පරිදි මහජන බැංකුව මගින් මෙවරත් සිදුකරයි. දහවල් දානය සැපයෙන්නේ මැදවච්චිය , නාච්චාදූව, තලාව , නොච්චියාගම හා මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශියලේකම් කොට්ඨසයන් හී පිරිස් වල සංවිධානයෙනි. මිහින්තලා පුදබිමෙහි ශීල් සමාදන් වන පිරිසට දහවල් දානය සැපයීම කහටගස්දිගිලිය, ගලෙන්බිදුනුවැව , හොරොව්පතාන , තිරප්පනේ හා රැඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා සංවිධානය වේ.

    අපහසුතා ඇතත් , වාර්ෂිකව පොසොන් උත්සවයේ දී රුවන්වැලි මහා සෑය අබියස හා මිහින්තලා පුදබිමෙහි පවත්වන හේවිසි පූජාව ද කෙසේ හෝ පවත්වන බවට පොසොන් කමිටුවේ දී තීරණය විය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හා අනෙකුත් විහාස්ථානවල ධර්මදේශනා , ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    දන්සැල් කිහිපයක් ද මේ වන විටත් නගර සභාව තුල ලියාපදිංචි වී සිටී. පොසොන් සතිය වන ජුනි 11 වනදා සිටි 17 වනදා දක්වා දිස්ත්‍රික්කයේ සියලුම සුරා සැල් හා මස් කඩ වසා තැබීමට තීරණය කර ඇත.
    මෙම කාලය තුල ඉන්ධන පිලිබදව අර්බුදය පවතින නිසා වන්දනාවේ පැමිණෙන පිරිස් තමන්ට අවශ්‍ය ඉන්ධන ඒ ඒ ප්‍රදේශවලින්ම රැගෙන එන්නේ නම් එය ඉන්ධන නොමැති වීමෙන් ඇතිවන අපහසුතා මගහරවා ගත හැකියි. සෑම ප්‍රදේශයකටම ඉන්ධන සීමා සහිතව ලැබෙන බැවින් පැමිණෙන විට ඉන්ධන රැගෙන ඒම අනිවාර්ය කරුණක් සේ සැලකිය යුතුව ඇතැයි ද පොසොන් කමිටුවේ දී තීරණය විය.

    කමිටුව අවසානයේ අනුශාසනා කරමින් ලංකාරාමාධිකාරී , පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ සඳහන් කලේ , මෙම පුණ්‍ය වන්ත රට අන්ත දූගී තත්ත්වයකට පැමිණිම කණගාටුවට කරුණක් බවයි. කෙසේ වෙතත් අප රටට නැගී සිටීමට හැකියාව ඇති බවත්, බුදු දහමේ ආශිර්වාදයෙන් සියල්ල සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය පරිදි සියලු දෙනා රට වෙනුවෙන් කැප වී ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ වැඩදුරටත් අනුශාසනා කළා .

    අද පැවැති කමිටුවට උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝානයක , අටමස්ථානාධිපති අති ගෞරවාර්හ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක හිමිපාණන් වහන්සේ, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ , උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාමාධිකාරි පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ , අභයගිරිය චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක හිමිපාණනවෙහන්සේ ,ජේතවනාරාමාධිකාරී පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක
    හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. මීට අමතරව පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා , ප්‍රාදේශිය ලේකම්වරු , අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් , ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් ද පොසොන් කමිටුවට සහභාගී වූහ.

     DMU/Anuradhapura

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya