අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය භාවිතා කරන පිරිස් වලට බලනොපාන අයුරින් විදුලි බිල සංශෝධනය කළ යුතුයැයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූවේ,බලශක්ති අමාත්‍යාංශයේ අද (28)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ,අප රටේ ජනතාව විදුලි බල අර්බුදය තවමත් තේරුම් ගෙන නොමැති බවයි.එසේම විදුලි උත්පාදනයට ජලවිදුලිය තිබීමට අවශ්‍ය බවත් ස්වාභාවික සම්පත් පාවිච්චි කිරීමෙන් පමණක් විදුලිය උත්පාදනය කිරීමට නොහැකි බවත් ඉන්ධන භාවිතා කිරීමේත් විදුලිය පිරිමැසීම කළ නොහැකි බවද ඒ සඳහා වෙනත් විකල්ප වලට යා යුතු බවද කීය . වසර නවයක් පුරා පැවති විදුලි බිල මිල ගණන් සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා , මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් නමුත් කිසිදු යෝජනාවකට තවමත් අනුමැතිය ලබාගෙන නොමැති බවද සදහන් කළේය.
එසේම කැබිනට් මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ජනාධිපතිතුමන් දැනුවත් කළ බවත් එහිදී අඩු ආදායම් ආදායම්ලාභී පවුල්වලට විශේෂයෙන්ම රජයේ රෝහල් වැනි ගොඩනැගිලිවලට ඒ සංශෝධනය මේ අවස්ථාවේදී නොකළත් , ව්දුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන කර්මාන්ත සහ හෝටල් සදහා යම් ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව කලයුතු බව යෝජනා වී ඇති බවද කීය .
වර්තමාන විදුලි බිල සංශෝධනය වුවහොත් මහා පරිමාණ කර්මාන්ත වලට , හෝටල්වලට හෝ මහා පරිමාණයෙන් විදුලිය භාවිතා කරන නිවාස වලට විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි වීමට ඉඩ තිබෙන බව කී අමාත්‍යවරයා ,එම බිල අවම කර ගැනීමට ඔවුනට ඇති හොඳම විසඳුම සූර්ය පැනල භාවිතා කිරීම බවත් ඒ සදහා කඩිනමින් යොමු විය යුතු බවද යෝජනා කළේය.
රජයේ ඇති රෝහල්වල ,පාසල්වල ,දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලවල ,සියලුම රජයේ දෙපාර්තමේන්තුවල සහ අනෙක් ආයතනවල වහලය මත සූර්ය පැනල සවි කිරීමට ඇති හැකියාව සොයා බැලීම මේ වනවිට සිදු කරන බවත් මේ සදහා වැඩපිළිවෙළක් ජූනි මස 01 දා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා කීය .
සූර්ය පැනල සිවි කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව කී අමාත්‍යවරයා ,යම් අයුරකින් විදුලි බිල වැඩි කිරීමට සිදුවුවහොත් විදුලි බිල හැටියට ගෙවිය යුතු මුදල පිළිබඳව මෙම අයතනවල ප්‍රදානීන්ට ,රජ්‍ය ආයතන ඇතුළුව පෞද්ගලික ආයතනවල ,කර්මාන්තශාලාවල සියලු දෙනාම දැනුවත් කරන බවද පැවසුවේය.