පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නීත්‍යානුකූල නොවන පරිදි ඉන්ධන තොග රැස් කර ගන්නා පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න - බලශක්ති ඇමති

    මැයි 29, 2022

    ජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රජය කෙරෙහි ජනතාව තුළ යම් අවිශ්වාසයක් ගොඩ නැගුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ඊයේ (28) බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කරන බවද අමාත්‍යවරයා කීය. ඉන්ධන තොග සම්බන්ධයෙන් මෙලෙස වැරදි ප්‍රචාර සිදු නොකරන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    තවද සංවිධානාත්මක පිරිසක් විසින් මාර්ග අවහිර කරමින් , කලබල ඇති කරමින් රට අකර්මන්‍ය කරන පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සි‌ටියේය.

    ඔවුන් නීත්‍යානුකූල නොවන පරිදි ඉන්ධන තොග රැස් කර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නීත්‍යානුකූල නොවන පරිදි ඉන්ධන රැස් කිරීම සඳහා ඉන්ධන හල් වෙත පැමිණි 1200ක් දෙනා පොලීසිය හඳුනාගෙන ඇතැයිද අමාත්‍යවරයා කීය.

    පසුගිය මාර්තු මාසයේ වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන නිකුත් කිරීම එළඹෙන සඳුදා සිට යළි ආරම්භ කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉදිරි සති දෙක සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම තොග නිසි කළමණාකාරිත්වයක් යටතේ නිකුත් කරන බවද අමාත්‍යවරයා කීය.

    පෙට්‍රල් බෙදා හැරියද ඩීසල් සහ භූමිතෙල් තොග නොමැති බවට ඇතැම් මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර සිදු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අද දිනයේත් එවැනි ප්‍රකාශ ඇතැම් මාධ්‍ය හරහා තමා දුටු බව සඳහන් කළේය. එහෙත් ඩීසල් සහ භූමිතෙල් තොග වෙළෙඳ පළට බෙදා හරින්නේ නිසි කළමණාකරණයක් සහිතව බවද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya