වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මොණරාගල ඇතැම් පුද්ගලයින් (31) සහ (01) දින තුළ උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට වාර්තා වී ඇත.
ඊයේ (01) දින පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා කැබිලිත්ත වනාන්තරයේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ කරුණු විමසනු ලැබීය. වගාව සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25,000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇතත්, එම පුද්ගලයින් ඒවායෙහි වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බව නිලධාරිහු පෙන්වා දුන්හ.
ඊයේ (01) පෙරවරුවේ වනජීවි නිලධාරීන් පිරිසක් විශේෂ කාර්ය බලකාය සමඟ කැබිලිත්ත වනාන්තරයට ඇතුල් වූවත්, ඇතැම් පිරිස් ඔවුන්ට බාධා කරන බව වාර්තා වූ නිසා අමාත්‍යවරයා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතා කර, පවතින තත්ත්වය විමසනු ලැබීය.
ඒ අනුව වගා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතත්, ඊට සුදුසු ඉඩම් තිබියදී රක්ෂිතයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම්, වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන, නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම මහ කන්නයේ බඩඉරිඟු ඇතුළු වගාවන් ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මාසයේ සිට බැවින්, ඉන් පෙර, වගාව සඳහා අවශ්‍ය ඉඩම් නොමැති පුද්ගලයින් හඳුනාගැනීමට සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා පියවර ගන්නා තෙක්, කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් කිසිදු පුද්ගලයෙකුට හෝ ජාවාරම්කරුවන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙම සාකච්ඡාවට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සහ වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූහ.