පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න - කෝප් සභාපති

    ජූනි 03, 2022

    ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න - කෝප් සභාපති නිර්දේශ කරයි.

    ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.


    ඒ් මහතා මෙම නිර්දේශය සිදු කළේ 2022 මැයි 13 දින වන විට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් (31) කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.

    කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි. එය එම ආධාර මුදලින් 28% ක් වූ බවත් 2022 මැයි 18 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත් මෙහි දී සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදි.

    රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්හ.

    විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් පවතින මෙම ගැටලු සහගත තත්ත්වයන් කඩිනමින් විසඳාගෙන ඉක්මනින් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අනුව ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදුකොට මෙම මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කළේය.

    මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැසුවේ මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුකරීමට කටයුතු කරමින් සිටින බවත් වර්තමානය වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත්ය. මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ
    මෙම මුදල් වලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම කාල සීමාව තුළ පත්වීම හේතුවෙන් ද මෙම කටයුතු ප්‍රමාද වූ බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

    තවද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර ක්‍රමය (WB), ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර (ADB) සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාක්ච්ඡා විය. විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකොට නොමැති බවද මෙහිදී හඳුනා ගැණුනි. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් අවශ්‍ය පරිපාලන තීරණ සහ අවශ්‍ය අනුමැතිය ලබාගැනීම් කටයුතු සිදු කර මෙම මුදල් යොදවාඖෂධ මිලදීගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිගයක් ඇති නොවන බවයි.

    මේ නිසා මේ පිළිබඳ අවධානය යොමුකරමින් කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ ඖෂධ හිගය වලක්වාගැනීම සඳහා ලැබී ඇති ඇමරිකානු ඩොලර් නිවැරදිව කළමනාකරණය කරමින් ඉක්මණින් යොදවා නොමැති බවයි. එබැවින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් පැවතී නොමැති බවත් කළමනාකරණය කිරීමේදී ඉක්මනින් එය සිදු නොකිරීමේ ගැටලුක් මෙහදී නිරීක්ෂණය වන බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එසේම ඖෂධ මිලදීගැනීමේදී රුපියල් හිගයක් පැවති බවද පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්හ. මේ අනුව මාර්ග ගත ක්‍රමය ඔස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද සජීවීව මෙම කමිටුව සඳහා සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර හැකි ඉක්මනින් එය විසදාගැනීමටද අවශ්‍ය කටයුතු සාකච්ඡා කළේය.

    වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම මෙහිදී
    හෙලි වූයේ මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බවත් මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවත් එසේ වුවද එම පද්ධතිය
    නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත්ය. මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද එහි කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් වී ඇති බවද පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

    තවද රටේ පවතින ඖෂධ අවශ්‍යතාවය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම ක්‍රමවේදය මගින් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිගය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවල ප්‍රසම්පාදන කටයුතු සමබන්ධයෙනද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම ආයතන තුන ඒකාබද්ධව ඉතා ඉකිමනින් අවශ්‍ය තීරණ ගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. ව්ශේෂයෙන් මෙම ආයතන මගින් රටේ ඖෂධ අවශ්‍යතාවය හඳුනාගැනීම සහ ඖෂධ මිලදීගැනීම යන කටයුතු සිදුවන බැවින් මෙම ආයතන කාර්යක්ෂමව එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිතව කටයුතු කිරීම රටටම වැදගත් වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මීට අමතරව හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, ජලබීතිකා රෝගය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, නිර්වින්දන කටයුතු සඳහා භාවිත වන ඖෂධ සහ අසාත්මිකතාවන් සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදීගැනීමට ප්‍රමාද වීම පිළිබඳවද එවැනි අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා යොදාගතහැකි විකල්ප ඖෂධ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම 1990 ගිලන්රථ සේවාව සඳහා පවතින ඖෂධ හිගය විසදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, (ආචාර්ය) සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) නාලක ගොඩහේවා, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya