පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනූව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත.
එහිදී පරිසර සංරක්ෂණය පිළිබදව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා පාරිසරික ගැටලු පිළිබදව පතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණෙන්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. ඒ අනූව ඒක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් මෙම වසරේ ජගත් පරිසර දින තේමාව ලෙස “only one earth” යන්න ඉදිරිපත් කර ඇත.
2021 නොවැම්බර් 18 දින ස්වීඩන් රජය විසින් 2022 ජගත් පරිසර දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සමග එක්ව සත්කාරකත්වය ලබාදී සැමරීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර ජගත් පරිසර දිනය ලෝක ප්‍රජාවටම සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා සැමරීමට අවස්ථාව උදාවනු ඇත. ඒ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති මානව පරිසරය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මේලනය පැවැත්වූ 1972 වර්ෂයේ සිට 2022 දක්වා 50 වැනි සංවත්සරය (Stockholm+50) සනිටුහන් කොට ගෙන සැමරීමද සිදුකරන බැවිනි.
සොබාදහම හා මිනිසා අතර වෙන් කළ නොහැකි සමීප සබදතාවන් පැවතියද පසුකාලීනව අසීමිත මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා සිදුකළ අයහපත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් උද්ගතවූ පාරිසරික ගැටලු සමස්ථ ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.
විශේෂයෙන්ම මෑත කාලයේදී ඇතිවූ කොවිඩ් 19 වැනි වසංගතය මානව සංහතිය පුරා ව්‍යාප්ත වීමත් සමග පරිසර හා මානව ක්‍රියාකාරකම් අතර වඩා තිරසාර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය සමස්ථ ලෝකයටම වැඩි වශයෙන් දැනී ඇත.
ඒ අනූව පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේද මෙවර ජගත් පරිසර දිනය “මිහිතලය ඒකම නිවහනයි” යන තේමාව යටතේ සැමරීමට කටයුතු යොදා ඇත.
මේ සදහා “ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන” යන මැයෙන් යුතුව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනූව “ජාතික පරිසර සතියක්” ප්‍රකාශයට පත්කර ඇත. ඒ් අනූව මෙම වර්ෂයේ ද මැයි 30 සිට ජුනි 05 දක්වා සතිය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම දිනයන් පහත පරිදි නම් කර ඇත.
මැයි 30 පරිසර පවිත්‍රතා හා කසළ කළමනාකරණ දිනය.
මැයි 31 වායු දූෂණය අවම කිරීමේ දිනය
ජුනි 01 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය
ජුනි 02 ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය
ජුනි 03 පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ දිනය
ජුනි 04 තිරසර ඉඩම් කළමනාකරණ දිනය
ජුනි 05 ජගත් පරිසර දින සැමරුම සහ රුක් රෝපණ දිනය
මීට අමතරව 2022 ජගත් පරිසර දිනය සැමරුම් වස් පරිසර අමාත්‍යංශය විසින් කාර්යාල පරිශ්‍රය තුළ පරිසරඅමාත්‍යතුමාගේ හා ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 03 වන දින රුක්රෝපණ වැඩසටහනක් මෙන්ම විද්වත් දේශනයක් හා “මයික්‍රො ප්ලාස්ටික් හා ඔබ”නමැති ග්‍රන්ථය එළිදැක්වීම සිදුකිරීමටද නියමිතය.