ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව වූ සාකච්ඡාවක් අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සමග (01) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබේ. එමගින් සෙසු ක්‍රීඩාවලට අතහිත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
ඉදිරියේදීත් අමාත්‍යවරයා මගින් ජාතික ක්‍රීඩා අරමුදල හරහා ඔවුන්ගේ සහය අනෙකුත් ක්‍රීඩා සංගම්වලට ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟත්වය පල කළේය. 2022 වසරේ එංගලන්තයේ බර්මින්හැං හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා මෙම සාකච්ඡාවේ දී එකඟත්වය පල කළේය.
වර්තමානයේ රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ එම ප්‍රදානය අප රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහත් රුකුලක් වන බැවින් එයට අමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය. මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි වලදී දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා එළිදක්වමින් රටට කීර්තියක් ගෙන ඒවි යැයි අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් සහභාගී වූහ.