අපේ කෘෂි ශිෂ්ටාචාරය පවතින්නේ ගම්දනව් පදනම් කරගෙන බවද ඔහු කියා සිටියේය.
සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් රු. ලක්ෂ 10ක් වියදම් කර, කැස්බෑව නාගරික මන්ත්‍රී ලලිත් රෝහණ ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කළ කැස්බෑව - ගොරකපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා,04 දින එක්වෙමිනි.
මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
" දේශීය නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ආහාර අතිරික්තයක් රට තුළ ඇතිකිරීමේ ඉලක්කයට,අප යා යුතුයි. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලක්ක කර ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මකයි. ග්‍රාම නිලධාරී , ගොවිජන නියාමකවරුන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින් එහි මූලිකත්වය ගනු ඇත. අපේ පැරණි කෘෂි ශිෂ්ටාචාරය යළි පනගැන්විය යුතුයි. අතීතයේ දී ශ්‍රී ලංකාව කෘෂිකර්ම නිෂ්පාදනය තුළින් වෙනත් රටවලට ආදර්ශයක් සැපයූවා. අපේ ගෙවත්ත දේශීය බෝග වගාවෙන්, දේශීය ඖෂධ පැලෑටිවලින් සරු කර ගත යුතුයි . තරුණ පරපුර සහ පාසල් දරුවන්ද මීට යොමු කර එම වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. "
මෙහිදී කතා කළ පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා
“මීට අවුරුදු 1500කට විතර කලින් රජරටට කාලිංග මාඝලා ඇවිත් ගිනි තියලා අපේ සංස්කෘතිය විනාශ කළා. එහෙම වුනාම දේශපාලන ස්ථාවරත්වය නැතිවෙලා, ආර්ථික අස්ථාවරත්වය ඇතිවෙන බව ඉතිහාසය දන්න දරුවන් පවා දන්නවා. ඉතිං කවුරු කඩාකප්පල්කාරීව, කළහකාරීව හැසිරෙන්න උත්සහ දැරුවත් අපි බුදු දහමේ පෝෂණය ලබපු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ජාතියක් හැටියට අපි සියලු දෙනාට පුදුමාකාර ඉවසීමක් තියෙනවා. ආලවක, අංගුලිමාලව දමනය කරන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මටය පුළුවන් නම්, අප ඒ ආකාරයෙන් , අපේ ඉදිරි කටයුතු කරන්න ඕනෙ.
දේශපාලන ස්ථාවරය තිබුණොත් තමයි, ජනතා බදු මුදල් ජනතා යහපත වෙනුවෙන් යොදවන්න පුළුවන් වෙන්නෙ.
රජරට පළාතේ තව එක දෙයක් තමයි මහා කෙත්වතු අස්වද්දපු වැව් මහා පද්ධතියක් තියෙන පළාතක් වීම. පෙරදිග ධාන්‍යාගාරය බිහිකරපු කාලපරිච්ඡේදයක් එදා තිබුණා. අහසින් වැටුණු හැම දිය බිඳක් ම එකතු කරලා, ජනතාවගේ ආහාර නිෂ්පාදනය කරන්න, වැව් බැඳලා වාරි ඇළවල් හදපු මහා ශිෂ්ටාචාරයක උරුමයක් තියෙන රටක් අපි. අපට බලශක්ති අර්බුදයක් තියෙන කාල පරිච්ඡේදයක් මේක. අපි විශාල ආයෝජනයන් කරලා තියෙනවා මහා ජලාශවලට, පසුගිය අවුරුදු 20 ,25, 30 ඉතිහාසයේ. ඒ ජලාශයන් ඒක සැරයක් වතුර ටික පහළට යැව්වට පස්සේ ඒවා පුරවන්න එකල මහා රජවරුන්ගේ කළේ, ඒ මහා වැව් පෝෂණය කරන්න මධ්‍ය වැව් හා කුඩා වැව් පද්ධතිය හැදුව එකයි. කෘෂිකර්මයට වගේම බලශක්තිය පෝෂණය කරන්නත් ඒක විශාල උදව්වක්.ඒ වගේ අපේ උරුමයන් හඳුනාගෙන ඉදිරියට යා යුතුයි. "
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එච්. ප්‍රේමදාස, කැස්බෑව නාගරික මන්ත්‍රීවරුන් වන ලලිත් රෝහණ, ප්‍රසද් රාජපක්ෂ යන මහත්තුරු මෙන්ම ග්‍රාම නිලධාරී ඇතුළු රජයේ නිලධාරීහුද, ප්‍රදේශවාසීහුද මෙම අවස්ථාවට එක්වූහ.