එමෙන්ම, විදෙස් සිට එවන මුදල් අවභාවිතා වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව සහතික කර සිටින බවත්, ඒ අනුව මේ රටේ උද්ගතව ඇති තත්ත්වය නිසා පීඩා විඳින මෙරට වෙසෙන තමන්ගේ ජනතාව වෙත උදව් කිරීමට ඉදිරිපත් වන ලෙස විදෙස් ගත සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
ඒ අනුව, මේ වෙලාවේ වරද කාගේ ද, සහ එකිනෙකා යනතුරු ඩොලර් එවන්නේ නැහැ යන්න පිළිබඳව කියමින් කල් මැරීමට කාලයක් නොවන බවත්, ඒ අනුව ඉතිහාසයේ සිටම මෙරට සිදු වූ වැරදි නිසා මෙන්ම කෙටිකාලීනව මතක දී ගත් ඇතැම් තීන්දු තීරණ නිසා මෙම තත්ත්වය උද්ගත ව තිබෙන බව සියල්ලෝම දන්නා කරුණක් බවත්, වැරැද්දක් වූ බව සියල්ලෝම විසින් දැනටමත් අවබෝධ කර ගැනීමම මේ රට ගොඩගැනීම සඳහා අවස්ථාවක් කර ගත යුතු නිසි මොහොත එළැඹ තිබෙන බවත් හෙතෙම පැවසීය.
ඒ අනුව මෙරට ජනතාවට උදව් කිරීමට සහ එවක් පටන් වූ වැරදි නිවැරදි කර ගැනීමට ලැබී තිබෙන මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ, ඉන්ධන, ගෑස්, සහ අත්‍යවශ්‍ය ආහාර යන මූලික කරුණු සපුරාලීම උදෙසා ලොව වෙසෙන සියලුම ශ්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටි හෙතෙම මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන වෙනත් රටවල වෙසෙන සියලුම අයවලුන්ට මේ රටට තමන්ගෙන් විය යුතු යුතු කම ඉටු කිරීමට පෙළ ගැසීමට සිදුසුම අවස්ථාව මෙය වන බවත් හෙතෙම මෙහි දී කියා සිටියේය.
විදෙස් ශ්‍රමිකයින්ට ඇති ප්‍රධානම ගැටලුව වන්නේ ප්‍රේෂණ සම්බන්ධ ව තිබෙන විස්වාසනියත්වය පිළිබඳව වූ ගැටලුව වන බවත් එම මුදල් නිසියාකාරව කෙසේ යෙදවෙනවා ද යන්න පිළිබඳවත් ය. ඒ අනුව නව රජය මෙම මුදල් වල වගකීම සහ වගවීම යන කරුණු කාරණා කෙරෙහි වඩාත් සැලකිල්ලෙන් යුතු ව කටයුතු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
කෙසේවුව ද, මේ දිනවල මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද මේ සම්බන්ධව විශේෂ කාර්යයභාරයක් සිදු කරමින් තිබේ. ඒ අනුව, කළු සල්ලි හුවමරුවන්නේ කෙසේ ද යන්න සහ උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන ව්‍යාපාර පිළිබඳව ද මේ දිනවල දැඩි අවධානයකින් පසුවේ.
මෙම විශේෂිත ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට ආරම්භ කිරීමෙන් පසු ඩොලර් සඟවාගෙන සිටි පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ද පසුගිය දිනවල දී හැකි විය.