පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

    ජූනි 08, 2022

     2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් සදහා ද රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය...

    අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

     
    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ රජයේ මුදල් කාරක සභාවේදී මෙම අනුමතිය හිමිවිය. 2022 වර්ෂයේදී ආර්ථිකයේ ඇති වූ අයහපත් තත්ත්වයන් හේතුවෙන් පීඩනයට පත් වූ සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමට සහ උද්ධමනය හේතුවෙන් සැපයුම්වල වියදම් ඉහළ යාම ආවරණය කිරීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්‍තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.

    පරිපූරක ඇස්තමේන්තුවට අදාළ රු බිලියන 695 ක මුදලින් රු. බිලියන 395 ක් පුනරාවර්තන වියදම් වන අතර රු. බිලියන 300ක් මූලධන වියදම් වේ. මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාවිසින් පරිපූරක ඇස්තමේන්තුව මගින් ප්‍රතිපාදන සපයා ගැනීමට අපේක්ෂා කරන අවශ්‍යතා කාරක සභාව හමුවේ පැහැදිළි කරන ලදී.


    මේ අනුව 2022 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබන රුපියල් 5,000ක මාසික දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 87000 ක මුදලක්ද 2022 ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක මාසික දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 40,000 ක් ද 2022 ජනවාරි මාසයේ සිට සමෘද්ධිලාභීන්ට ගෙවනු ලබන රුපියල් 1000ක අමතර දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක මුදලක්ද මෙම ඇස්මේන්තුව මගින් වෙන් කර ඇත.

    තවද බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 50,000 ක මුදලක්ද හරිත කෘෂිකර්මාන්තයේ යෙදවුම් භාවිතා කිරීම වෙනුවෙන් ඇගයීම් දිරිගැන්වීම් සඳහා රුපියල් මිලියන 12,000 ක මුදලක්ද පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 50,000 ක මුදලක්ද පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කර ඇත.

    මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආරක්ෂක අංශ රෝහල් හා බන්ධනාගාරය වැනි ආයතන වල ආහාර හා අනෙකුත් සැපයීම් වල ඇති විය හැකි හිඟ ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් මිලියන 25,000 ක්ද මිල ඉහළ යාම හේතුවෙන් ගෙවීමට සිදුවිය හැකි වෙනත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 4,500 ක්ද ණය පොලී ගෙවීම් සදහා රුපියල් බිලියන 21,500 ක්ද මේ අතර වේ. එසේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඉන්දියානු ණය වැඩසටහන යටතේ ලද ණය මුදල උපයෝජනය/ ගිණුම්ගත කිරීම සදහා රුපියල් මිලියන 250,000 ක්ද දුෂ්කර ආර්ථික තත්ත්වයන්
    පීඩාවට පත් ජනතාව, සමෘද්ධි ප්‍රතිලාභීන් හා දැනට එවැනි යම් ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් ලබා ඇති පොරොත්තු ලේඛනගතව සිටි ප්‍රතිලාභීන් සඳහා යෝජිත සහන උපයෝජනය සදහා ලෝක බැංකුව සලසා දෙනු ලබන මිලියන 140,000 ක මුදලක් ද මෙම ඇස්තමේන්තුවට අයත් වේ.
    මේ අනුව ලෝක බැංකුව හා ඉන්දියන් රජය විසින් සපයා දෙනු ලබන අරමුදල් හැර අනෙකුත් මුදල වන රුපියල් මිලියන 305,000 ක් සඳහා දේශීය අරමුදල් සලසා ගත යුතුව පවතින බව මෙහිදී අනාවරණය විය.
    රු. බිලියන 695 ක මුදලක් ඇස්තමේන්තු ගත කළද අත්‍යවශ්‍ය වියදම් හැර අනෙකුත් සියලු වියදම් අවම කරමින් රු බිලියන 300කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. ඒ අනුව ඉදිරියේදී මෙම සියලු කරුණු සලකා බලා සංශෝධිත අයවැයක් ඉදරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සිරිවර්ධන මහතා කමිටුව හමුවේ පවසා සිටියේය. තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් සදහාද රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය. 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියට අනුව අදාළ වර්ෂයේදී උද්ගත වන අවශ්‍යතාවන් සලකාබලා විසර්ජන පනත යටතේ ලබා දී තිබූ අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා සතු බලතල අනුව මෙම
    නියමයන් පනවා ඇත

    ඒ අනුව පරිපූරක ඇස්මේන්තුව සහ මෙම නියමයන් (08) පාර්ලිමේන්තුවේදී විවාද කොට අනුමතිය ලබා ගැනීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, විජිත හේරත්, මුජිබර් රහුමාන්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සුරේන් රාඝවන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ඉසුරු දොඩන්ගොඩ සහ අනුප පැස්කුවල් යන මහත්වරු ද මුදල් අමාත්‍යාංශයේ නිළදාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya