සහල් හිඟයක් පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජොන් සෙනවිරත්න මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මුලදී තත්ත්වය නරක වුණත් දැන් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව පැවැසූ ඇමැතිවරයා, මේ වනවිට හෙක්ටයාර හාර ලක්ෂ 47000ක් බිම් සැකසීම් සිදුව තිබෙන අතර එය පසුගිය කන්නයන් සමඟ සසඳන විට හොඳ තත්ත්වයක් බවද සඳහන් කළේය.
සහල් හිඟයක් ඇති වෙන්නේ නම් අවුරුද්දේ අවසාන දවස් කීපයකට පමණක් බවත් ඒ හිඟයටත් අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා වෙළෙඳ ඇමති ඇනවුම් ලබාදී තිබෙන බවත් ඇමැතිවරයා කීයා සිටියේය.
පෙබරවාරි මාසය වන විට මාස් කන්නයේ අස්වැන්න ලැබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කර ඇති බවත් වී අළෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත්කර සතොස හරහා කිලෝ එකක් රුපියල් දෙසියකට අඩුවෙන් ඉදිරියට ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.
වී තොග වැඩි කාලයක් රැස්කර තබා ගැනීමට නොහැකි අතර එය ගුල්ලන් විදින බව පැවැසූ ඒ මහතා එම නිසා අනවශ්‍ය ලෙස සහල් ගොඩ ගසා නොගන්නයි ඉල්ලා සිටින බව කියා සිටියේය.
ඉන්දියාව ඇණවුම් කළ පොහොර වලින් මෙට්‍රික් ටොන් 65000ක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න එකඟ වී ඇති බවත් ඒ අනුව රුපියල් 10000ක මුදලකට එම පොහොර මිටියක් ලබා දීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.
ඉන්දියාවෙන් ලැබෙන පොහොර වලින් මෙට්‍රික් ටොන් 10000ක් තේ වලටත්, මෙට්‍රික් ටොන් 5000ක් බඩ ඉරිඟු වගාවට ලබාදීමට පියවර ගන්නා බව අමරවීර මහතා ප්‍රකාශ කළේය.