වර්තමාන ලෝක වෙළඳපොළ තත්ත්වයන් සහ දේශීය ආර්ථික අර්බුදය හමුවේ රට තුළ උද්ගතවිය හැකියැයි අනුමාන කරන ආහාර අර්බුදය මැඩපැවැත්වීමට ක්‍රියාත්මක කළ හැකි කෙටිකාලීන සහ දිගුකාලීන නිෂ්පාදන සැලසුම් පිළිබඳව පසුගියදා (07) පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජාවට භාජනය කරන ලදී.
මෙම වසර සඳහා අවශ්‍ය කරන සහල් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මෙම කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගැනීමට හැකිවේවි යැයි ඇස්තමේන්තු කර ඇති බවත්, ඉතිරි ප්‍රමාණය සපයා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද, සහල් සහ අනෙකුත් ආහාර බෝග සඳහා භාවිත කරන පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඉක්මනින් සලසා දෙන ලෙසද අදාළ අංශ දැනුවත් කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව(කෝපා) විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයීය නිලධාරීන්‍ට දැනුම් දෙන ලදී.
එසේම, යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ සහල් පරිභෝජනය ඉහළ යා හැකි බැවින් සහල් සඳහා ආදේශක ලෙස මෙන්ම කෙටිකාලීනව අස්වනු ලබා ගත හැකි විකල්ප බෝග වගාවන් සඳහා ක්‍රියාත්මක සැලසුම් කවරේද යන්න පිළිබඳවද මෙහිදී කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදී. ඒ සඳහා එක් වැඩසටහනක් ලෙස ‘එක්ව වවමු - රට දිනවමු’ කඩිනම් ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළ රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇති බවත්, එය මෙම මස 15 වනදා සිට ක්‍රියාවට නංවන බවද අනාවරණය විය.එසේම මෙම වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව නියාමනයට ලක් කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට දන්වා සිටියේය.
මෙහිදී කාරක සභාව විසින් අමාත්‍යාංශයීය නිලධාරීන් හමුවේ අවධාරණය කර සිටියේ, පවතින තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳව ගැටලු පවතින නිසා, මෙම දත්ත මත පදනම්ව නිවැරදි ආර්ථික සැලසුම් සකස් කළ නොහැකි බැවින්, ප්‍රාදේශීය නිලධාරින් දැනුවත් කර, අදාළ තොරතුරු කඩිනමින් යාවත්කාලීන කරන ලෙසයි.
තවද, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන වැඩසටහන් සහ එහි ප්‍රගතිය පිළිබඳව නිරතුරුව ජනමාධ්‍ය ආයතන දැනුවත් කරන ලෙසද, කාරක සභා සාමාජිකයන් විසින් පැමිණි සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.
සභාපති (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලසන්ත අලගියවන්න මහතා, තිස්ස අත්තනායක මහතා, උදය
ගම්මන්පිල මහතා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, මොහමඩ් මුසම්මිල් මහතා, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, වීරසුමන වීරසිංහ මහතා, (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය, හේෂා විතානගේ, සිවඥානම් ශ්‍රීතරන් මහතා, බී. වයි. ජී. රත්නසේකර මහතා මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.