ගෙලිඔය තෙළඹුගල නිග්‍රෝධකෙත්ත මහා පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමිපාණෝ, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය උඩුගොඩ ධම්මබන්ධ නාහිමිපාණෝ, මහනුවර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය අඹන්වල සරද නාහිමිපාණෝ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වය මධ්‍යයේ මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාවේ හය වැනි කලාපය එළි දැක්වීමේ උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී (09) පැවැත්විණ.
බෞද්ධ දර්ශනය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින් එහි එන කරුණු කාරණා හා පිළිවෙත් නිසි පරිදි අනුගමනය කිරීම මේ යුගයේ අත්‍යවශ්‍ය කාර්යයක් බවත්, එහෙත් ජනතාව ඊට දක්වන එකඟතාව ප්‍රශ්නකාරී වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාවේ 6 වන කලාපය සදහා පණිවිඩයක් එක් කරමින් සදහන් කර සිටි අතර, මෙවැනි සඟරා ආදිය නිසා බෞද්ධ දර්ශනය පිළිබඳ දේශීය - විදේශීය ජනතාවගේ දැනුම පෝෂණය වන වග ද , එහෙයින්ම මෙහි සංස්කාරක මණ්ඩලයේ කැපවීම හා උනන්දුව තමා බෙහෙවින් අගය කරන වග ද එහි සදහන් ය.
පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා මඩහපොල,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ,අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්.එම් .ඩී. ආර්. හේරත්, බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විමලසේන කළුගමගේ ඇතුළු මහත්ම මහත්මීන් ද, මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛ බෞද්ධ සංවිධාන කිහිපයකම ප්‍රධානීහු ද, පුස්තකාලයාධිපතිනියන් පිරිසක් ද එක්ව සිටියහ.