පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන හිඟය හමුවේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාමට විශේෂ ප්‍රවාහන සැලැස්මක් - ප්‍රවාහන අමාත්‍ය

    ජූනි 13, 2022

    වර්තමානයේ ඉන්ධන හිඟය හමුවේ ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා මෙරට සියලුම මඟීන්ට සිදුවන පිඩා අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පසුගිය සති දෙකක කාලය තුළ ප්‍රවාහන අමාත්‍යංශයට සම්බන්ධ සියලු ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡා කරන ලදුව එම විශේෂ ක්‍රියාමාර්ග මෙම මස 15 වන දින සිට ක්‍රියාවට නැංවෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    වත්මන් ඉන්ධන හිඟය හමුවේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාමට මේ වන විට පොදු ප්‍රවාහන සැළැස්මක් ද ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එහි සාර්ථකත්වයට ජනතා සහයෝගිතාවය ඉතාමත්ම වැදගත් වන හෙයින් ජනතාව දැනුවත් කිරීම පිණිස අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව, දැනට මඟීන් ප්‍රවාහනය ගත් කල විශාල මඟීන් ප්‍රමාණයක් තම ප්‍රවාහන අවශ්‍යතාව ලෙස දුම්රිය භාවිතා කරන හෙයින් කොළඹ සිට මහනුවර දක්වා ශිඝ්‍රගාමී සුඛෝපභෝගී නව දුම්රිය සේවයක් ජූනි 15 දින සිට සේවයට එකතුවන බවත් ඒ මහතා කියා සිටින ලදුව එම දුම්රිය දිනපතා උදැසන 5.20 ට කොළඹ කොටුවේ සිට ගමන් ඇරඹෙන අතර උදැසන 8.14 ට මහනුවරට ළඟා වීමට නියමිතව තිබේ. එම දුම්රියම නැවත පස්වරු 4.50 ට මහනුවරින් පිටත් වන දුම්රිය නැවත පස්වරු 7.40 වන විට ළඟා වීමට ද නියමිතව තිබේ.

    එමෙන්ම, කැළණිවැලි දුම්රිය මාර්ගයේ වග දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.20 ට ආරම්භ වී කොළඹ කොටුව වෙත උදෑසන 8.12 වන විට ධාවනය වීමටත්, එම දුම්රිය නැවත කොළඹ කොටුවෙන් පස්වරු 4.00 ට ආරම්භ වී 5.43 ට නැවත් වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නව කාර්යාලයීය දුම්රියක් ද ප්‍රවාහන සේවයට එක් විමට නියමිතව තිබේ. එපමණක් නොව සති අන්ත සීඝ්‍රගාමි විශේෂ දුම්රියක් ජුනි 17 දින සිට ගල්කිස්සෙන් රාත්‍රී 10.00ත ආරම්භ වී යාපනය වෙත උදෑසන 5.30 වනවිට ළඟා වීමට නියමිතව ආරම්භ වන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, අත්හදා බැලීමක් ලෙස ඇරඹි කොළඹ - අනුරාධපුරය ශිඝ්‍රගාමී දුම්රිය ස්ථාවර දුම්රියක් බවට පත් වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්. රන්ජිත් ප්‍රේමසිරි, ලංගම සභාපති නීතිඥ කිංස්ලි රණවක, දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම, මහා කොළඹ ප්‍රවාහන ජාල ව්‍යාපෘති අධ්‍යක්ෂක නාලක දිසානායක යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya