ඔහු මේ බව කියා සිටියේ, අද (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය තුළ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණය පිළිබද ජාතික සැලැස්ම දියත් කිරීම පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වලට ආැතුලත්වී නේවාසිකව ප්‍රතිකර ලබන ප්‍රධානම හේතුව අනතුරු බවද, එලෙස ප්‍රතිකාර ලබන ප්‍රමාණය දළ වශයෙන් මිලියන 1.3ක් පමණ වන බව කියා සිටි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා 2025 වසර වන විට මෙම ප්‍රමාණය මිලියන 1.55ක් එනම් ලක්ෂ 15ක් ඉක්මවනු ඇතැයි පුරෝකතනයක් කර ඇතැයිද සඳහන් කළේය.
පසුගිය වසර කිහිපයේ වාර්තා විශ්ලේෂණයේදී නේවාසිකව ප්‍රතිකාර ලබන සමස්ථ රෝගීන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු හෝ සය දෙනෙකුගෙන් එක් අයෙකුම අනතුරක් නිසා නේවාසිකව ප්‍රතිකර ලබන බවද, 2025 වන විට අනතුරු ඇතුලුව නේවාසිකව ප්‍රතිකාර ලබන සමස්ථ රෝගීන් ප්‍රමාණය මිලියන 7.5 සිට මිලියන 09 දක්වා වැඩිවිය හැකි බැවින් 2025දී එම ගැටලුවට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් කිරීම වර්තමානයේ යුතුකමක් බවද පැවසුවේය.
වසරකට 12000ක් පමණ දෙනා අනතුරු හේතුවෙන් මිය යන බවද, දිනකට 32ත් 35ත් අතර ප්‍රමාණයක් අනතුරු හේතුවෙන් මිය යන බවද කියා සිටි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැටීම්, සත්ත්ව දෂ්ඨන, විෂවීම්, දියේ ගිලීම්, මාර්ග අනතුරු ආදී සමස්ථ අනතුරු හේතුවෙන් දිනකට 32ත් 35ත් අතර ප්‍රමාණයක් මියයන බව කීය.
ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩය වන අවුරුදු 15-44 අතර රටේ ජාතික ආදායම උත්පාදනයට හැකියාවක් ඇති වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව අනතුරු බවද, අපේ රටට අනතුරු හේතුවෙන් අහිමි වන ප්‍රමාණයේ සුවිශේෂී වැඩිවීමක් ඇතැයිද වෛද්‍යවරයා අනාවරණය කළේය.
වාර්ෂිකව අපගේ සෞඛ්‍ය සදහා වෙන් කරන මුදලෙන් විශාල ප්‍රමාණයක් අනතුරු කළමනාකරණයට සහ අනතුරු වලට ප්‍රතිකාර කිරීමට වැය වන බවද කියා සිටි වෛද්‍ය සමිත සිරිතුංග මහතා ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩය අනතුරුවලට ගොදුරු වීමෙන් ඔවුන්ගෙන් රටට අහිමි වන ප්‍රමාණය අති විශාල බවද පැවසුවේය.
මේ හේතුවෙන් අනතුරු මෙරට ආර්ථිකයට දරුණු බලපෑමක් ඇතිකර බවද, ප්‍රමාණවත් ආරක්ෂණ පියවරයන් ගතහොත් සෑම අනතුරක්ම වාගේ වළක්වාගත හැකි බවද කියා සිටි වෛද්‍යවරයා ගැටලුව වන්නේ අනතුරු වලින් සිදුවන හානිය පිළිබද ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම, අදාල ආරක්ෂිත පියවරයන් අනුගමනය නොකිරීම, අදාළ නීතිමය කොන්දේසි වලට අවනත නොවීම මෙන්ම නොසැලකිලිමත්කම හෝ පථමාධාර කුසලතා නොමැතිවීම ආදිය බව කීය.
අනතුරු වළක්වා ගැනීමට බහු පාර්ශවීය සහයෝගීතාවය ඉතා වැදගත් බව පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මෙම ක්‍රියාකාරී සැලැස්ම තුළ සුවිශේෂී අංශ කිහිපයක් වෙත අවධානය යොමුකර ඇතැයිද සඳහන් කළේය.
දුම්රිය මාර්ගයේ, මහා මාර්ගයේ එනම් මාර්ග අනතුරු වැළැක්වීම, ගෘහස්ථ අනතුරු වැළැක්වීම, වැඩ කරන ස්ථාන වල සිදුවන අනතුරු වැළැක්වීම, දරුවන්ට සහ වැඩිහිටියන්ට සිදුවන අනතුරු වැළැක්වීම ආදියට ප්‍රධානත්වය ලබාදෙමින් අනතුරක් වූ පසු කුමක් කළ යුතුද, ප්‍රථමාධාර ඇතුළුව අනතුරක් වූ පසු අනතුරට ලක්වූ පුද්ගලයාට ලබාදෙන සත්කාර පිළිබදව සැලැස්මේ අන්තර්ගත බව ඔහු අවධාරණය කළේය.
මෙම සැලැස්ම මගින් ශ්‍රී ලංකාවේ අනතුරු වැළැක්වීමේ වැඩසටහන විධිමත් කිරීමටත්, ශක්තිමත් කිරීමටත් හැකිවන බව කියා සිටි වෛද්‍යවරයා සෑම පාර්ශවකරුවෙකුටම මෙය මාර්ගෝපදේශයක් විය හැකි බවද පැවසීය.