විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ විදේශ සම්පත් දෙපාරතමේන්තුවට අනුමතිය ලබාගැනීමට ඇති ව්‍යාපෘති, දැනට අනුමතිය ලැබුණද අතරමග නැවතී ඇති ව්‍යාපෘති සහ වර්තමාන
ආර්ථික තත්ත්වය මගහරවාගැනීමට මෙම දෙපාර්තමේන්තුවේ පවතින ඉදිරි සැලසුම් ආදිය පිළිබඳවයි.
මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ දේශපාලන අධිකාරිය වෙනස් වුවද රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වෙනස් නොවෙමින් වසර 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිතව හඳුනාගත් සංවර්ධන සැලැස්මක් පැවතිය යුතු බවයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමතිය ලබාගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම කාරක සභාව සඳහා සහභාගී වූ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ දේශපාලන අධිකාරියේ බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා මෙවැනි ජාතික සැලැස්මක් සකස්කිරීමට සුදුසුම කාලය මෙය බවයි. මෙහිදී කෝපා කමිටු සභාපතිවරයාද පෙන්වා දුනනේ දේශපාලන අධිකාරිය වෙනස් වුවද රටක් වෙනස් නොවන නිසා රටේ සංවර්ධනයට නිශ්චිත ආර්ථික සැලසුම් අවශ්‍ය වන බවයි.
එසේම ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ විධායකයේ
තීරණ මත මෙලෙස ඇතැම් ව්‍යාපෘති අතරමග නැවැත්වීමට සිදු වූ බවයි. ඒ සඳහා බලපෑම් කිරීමට නිලධාරීන්ට නොහැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ දේශපාලන අධිකාරිය වැරදි තීරණයක් ගන්නේ නම් එය පෙන්වාදීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවයි. එවැනි කටයුත්තකට නිලධාරීන්ට සම්බන්ධවී උපදෙස්දීමට ක්‍රමවේදයක් නොමැතිනම් එය සකස්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා කෝපා කමිටුව අවශ්‍ය සහයෝගයක් ලබා දෙන බවයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, (ආචාර්ය) හරිනි අමරසූරිය, දුමින්ද දිසානායක, නිරෝෂන් පෙරේරා, එස්. ශ්‍රීතරන්, ගරු බී.වයි.ජී. රත්නසේකර, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ සහ ප්‍රසන්න රනවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.