පෙල පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා වෙනත් ද්‍රව්‍ය ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කෙරේ. ලබන වසරේ පාසල් නිල ඇඳුම් සපයා දීමට දේශිය ව්‍යාපාරිකයන් සහ චීන රජය සමග සාකච්ඡා කොට කටයුතු සුදානම් කර ඇත. “විභාග උත්තර පත්‍ර පරික්ෂාව, පාසල් පැවැත්වීම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම්” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (19) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ තොරතුරු සඳහන් කළේය.
“අධ්‍යාපන ඇමතිවරයා හැටියට මම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවන්ගේ පාසල් දින ගණන අඩු කිරීමට හෝ කාලඡේද ප්‍රමාණය අඩු කිරීමට. රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ පළාත් ප්‍රධාන නගර ආශ්‍රිතව පිහිටි පාසල් මේ සතිය තුල විවෘත තැබීමට හැකියාවක් නැහැ. ළමුන් 200ට අඩු පාසල් 3000ක් ග්‍රාමීයව තිබෙනවා. මේ කුඩා පාසල් වලට තමයි පාසල් වැසීමෙන් වැඩිපුරම බලපෑම ඇතිවන්නේ. එම පාසල් පැවැත්වීමට ගුරු විදුහල්පතිවරුන් කැමතියි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඒ තීරණය ගත්තාට. එසේම ඉගැන්වීම් කටයුතු පැවැත්වීමට නොහැකි පාසල් වල ගුරු භවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා Online ඔස්සේ හැකිනම් ළමුන්ට
අධ්‍යාපනය ලබා දෙන්න අවධානය යොමු කරන්න” යැයි අමාත්‍යවරයා පැවසීය.
“මෙම වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වල පැවැත්වීමට අපි තීරණය කලා. 2022 අ.පො.ස. (සා.පෙළ) විභාගය 2023 පෙබරවාරි මාසයේ පවත්වනවා. පාසල් වසා තැබීමෙන් සිදුවන්නේ විෂය නිර්දේශය ආවරණය කිරීමේ ගැටළු පැන නැගීම. ඊට විසඳුම් ලෙස පාසල්වල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කර වැඩිපුර කාලයක් අධ්‍යයන කටයුතු වෙනුවෙන් යොදන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අගෝස්තු හා දෙසැම්බර් නිවාඩු කාල කෙටි කර මෙසේ අහිමි වන කාලයට හිලව් කිරීමට තීරණය කලා.”, අමාත්‍ය ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
2023 වර්ෂයේ සිට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට, අ.පො.ස (උ.පෙළ හා සා.පෙළ) ශිෂ්‍යත්ව විභාග කොවිඩ් වසංගතයට පෙර පැවැත්වූ කාලවලදී පැවැත්වීමට, අවශ්‍ය කටයුතු යොදා ඇති බවද අමාත්‍යතුමන් වැඩි දුරටත් පැවසීය.
මේ දිනවල 2021 වර්ෂයට අදාල අ.පො.ස. (සා.පෙළ) උත්තර පත්‍ර ඇගයීමේ කාර්යය සිදුකරන ගුරු භවතුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සහය වනමෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතාද මාධ්‍ය හමුවට එක්ව සිටියේය.