පාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (22) පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව ජූනි 21 සිට 24 දක්වා රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුවද පවතින ඉන්ධන හිගය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර විපක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් අද (22) දිනයේ විපක්ෂය විසින් ගෙන ඒමෙන් අනතුරුව විවාදයට ගැනීමට නියමිතව තිබූ රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන ඒමටත් මෙහිදී තීරණය වී ඇත.
අද පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව ලබන ජූලි 4 වන සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා එදින පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇති බවද මහලේකම්වරයා පැවසීය.