ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳ සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය දැනුම්වත් කළේය.
ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය අවශ්‍යතා ආශ්‍රිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමා අවධාරණය කළේය. නවසීලන්තයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟත්වය පළ කළාය.
සැපයුම්දාමය සහ සැපයුම් සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කළ අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය සහ කෘෂි නිෂ්පාදන පදනම් වූ කර්මාන්ත දියුණු කිරීම සඳහා නවසීලන්තයේ සහය ඉල්ලා සිටියේ ය. කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග උග්‍ර වී ඇති ආකාරය ද අමාත්‍ය පීරිස් මහතා මෙහිදී පැහැදිළි කළේ ය.
ජීවනෝපාය සඳහා අධ්‍යාපනය වඩාත් අදාළ වන පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් කෙරෙහි අවධාරණය කරමින්, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ආශ්‍රිතව පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ සාගර සම්පත් සංරක්ෂණය වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන දෙපාර්ශ්වයේ පවත්නා වැදගත්කම සැලකිල්ලට ගනිමින්, සාගර ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.
නූතන ලෝකය තුළ මානව වර්ගයාගේ යහපත සඳහා කටයුතු කරන බලවේගයක් වන පොදුරාජ්‍ය මණ්ඩලයේ අනාගත ගමන පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදී සිය අදහස් හුවමාරු කර ගත්හ.
කැරිබියන් කලාපය සමඟ වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ජාත්‍යන්තර සංසද හමුවේ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඩොමිනිකාවේ විදේශ කටයුතු, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ඩයස්පෝරා සබඳතා පිළිබඳ අමාත්‍ය ආචාර්ය කෙනත් මෙල්කොයර් ඩරූ මහතා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.