මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2022 යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලබාගත යුතු බව අනාවරණය කරමින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට නියමිතය.
2022 යල කන්නයේ මේ වනවිට දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 4,77,000ක පමණ වී වගාකර ඇත. 2022 ජුනි මාසයේ තුන්වන සතියේ සිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක අස්වනු නෙලීම ආරම්භ වන අතර, අස්වනු නෙලීම ඔක්තෝබර් මස දෙවන සතිය දක්වා සිදු කෙරේ.
අස්වනු නෙලීම 95%ක්ම සිදු කරනු ලබන්නේ යන්ත්‍ර භාවිතයෙනි. වී අස්වනු නෙලීම නියමිත අවස්ථාවේ සිදු නොකළහොත් හෝ යම් ප්‍රමාදයක් වුවහොත් විශාල වශයෙන් අස්වනු හානි සිදුවිය හැකිය. මේ නිසා නිසි කලට අස්වනු නෙලාගැනීම සිදු කළ යුතුව ඇත.
එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කරනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි පලවල්වල අස්වනු නෙලීම සහ එම බීජ ගොවීන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බීජ ගොවිපලවල් හා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව ආයතන 44ක් වෙත ඉන්දන සැපයිය යුතුව ඇත.
එම නිසා අප රටේ වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඒ සඳහා ඉන්ධන ලබාදීම සිදු කළ යුතු බවට රජයේ අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත සටහනක් ( Note to the Cabinet ) ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.