චීන ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 70ක සැපිරීම නිමිත්තෙන් මෙම වසරේ ජනවාරි 8 දින එවකට වෙළෙඳ අමාත්‍ය ධූරය දරන ලද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ චීන රජය හා මෙරට චීන තානාපති කාර්යාලය විසින් සිදු කරන ලද සාකච්ඡාවේ දී, චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් ලබා දීමට එරට රජය විසින් කටයුතු සලසන බව ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, එහි පළමු තොගය වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක් අද මෙරටට ළඟා වූ අතර චීන තානාපති කාර්යාල නියෝජිතයන් විසින් මෙම සහල් තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී.
එහි දී කෙටියෙන් සිය අදහස් දැක්වූ හිටපු වෙළෙඳ අමාත්‍ය, වත්මන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය හා වැඩ බලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, රටක් වශයෙන් මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය තුළ චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන සහය අගය කරනු ලබන බවයි. එමෙන්ම දෙරට අතර අතීතයේ සිටම පවතින සහයෝගිතාවය හා අවංක මිත්‍රශීලීත්වය තුළ දෙරට අතර අවබෝධය තවදුරටත් තීව්‍ර වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
මෙම සහල් තොගය පාසල් දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීමේ වැඩසටහනට යොදා ගනු ලබන බවත් ඒ අනුව දරුවන් පාසල් වෙත යොමු කරවා ගැනීමෙන් අධ්‍යාපන අවශ්‍යතාවය මෙන්ම පෝෂණ අවශ්‍යතාවය ද සපුරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කරන ලදී.
චීන රජය නියෝජනය කරමින් සහභාගී වූ මෙරට චීන තානාපති කි-සෙන්හොං මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය තුළ හැකි සෑම ආකාරයකින්ම චීනයේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන බවයි. ඒ අනුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කළ යෝජනාව තුළ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය වෙනුවෙන් තවදුරටත් සහයෝගය ලබා දෙනු ලබන බව ද ඒ මහතා සඳහන් කරන ලදී. අත්‍යවශ්‍යම මොහොතක මෙවැනි පරිත්‍යාගයක් සිදු කිරීමට ලැබීම චීන රජය ගෞරවයක් වශයෙන් සලකනු ලබන බවත්, අද භාර දෙනු ලබන මෙම සහල් තොගයට අමතරව, ඉතිරි මෙට්‍රික් ටොන් 5,000ක සහල් තොගය කඩිනමින් මෙරටට ගෙන්වීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියන් එකා මෙන් නැඟී සිටිමින් මෙම අර්බුදයට ද සාර්ථකව මුහුණ දී ඉතා ඉක්මනින් යළි ගොඩනැගෙනු ඇතැයි ද ඒ මහතා මෙහිදි සඳහන් කරන ලදී.