වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල කළමනාකරණය, පාරිභෝගික සුබ සාධනය හා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම පිණිස රජය සකස් කර ඇති වැඩපිළිවෙල පැහැදිලි කිරීම සඳහා අද (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම තොරතුරු සඳහන් කළේය.
පසු ගිය මැයි මස 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයකට අනුව විවෘත ගිණුම් මගින් භාණ්ඩ ආනයනය වෙනුවට බැංකු මගින් පමණක් ආනයනය සඳහා ගෙවීම් කළ යුතු බව නියම කෙරිණ. නමුත් මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා මහබැංකුව සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද (01) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක් විවෘත ගිණුම් මගින් ආනයනයට අවසර ලැබිණ. එමගින් හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමටත්, තරගකාරිත්වය තුලින් භාණ්ඩවල මිල අඩු කර ගැනීමටත් අවකාශ සැලසෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙසේ විවෘත ගිණුම් මගින් ආනයනය කරනු ලබන භාණ්ඩ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය විසින් නියාමනය කෙරෙන බැවින් පසු ගිය කාලවකවානුවේදී මෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කර සඟවා තබා ගෙන වැඩි මිලට අලෙවි කිරීමට ඉඩ නොලැබේ. එබැවින් ඉදිරියේදී පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමට හැකි වනු ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව, ලබන පෙබරවාරි මස මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් දිවයිනේ සහල් ටොන් ලක්ෂ 04 ක පමණ හිඟයක් පවතී. එම හිඟය මෙම වසරේ දෙසැම්බර් සහ ලබන වසරේ ජනවාරි අතර ඇතිවිය හැකි බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඊට විසඳුමක් වශයෙන් මසකට ටොන් 75,000 ක, 100,000 ක පමණ සහල් ආනයනය කරමින් වෙළෙඳපලේ සහල් හිඟයක් ඇති වීම වළක්වා ගනු ලැබේ.
ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබෙන තුරු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගිකයින් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් හෙට (02) සිට ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර ඇත. අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රැගෙන එන ලොරිවලට යුද්ධ හමුදා කඳවුරු මගින් ඉන්ධන ලබා දීමට අපේක්ෂා කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සම්බන්ධීකරණයෙන් හෙට (02) සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. සතොස සහ වෙනත් සුපිරි වෙළෙඳසල්වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සතියකට ඩීසල් ලීටර 165,000 ක් පමණ අවශ්‍ය වන අතර එම ආයතනවලින් තොරතුරු සපයා ගෙන අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තොරතුරු ලබා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.