පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    බඩඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා පොහොර- අමාත්‍ය මහින්ද අමරවීර

    ජූලි 02, 2022

    මෙවර යල කන්නයේ බඩඉරිඟු වගා කරන  ගොවීන්ට ද යුරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව සින්ගල් සුපර් පොස්පේට් ( SINGLE SUPER PHOSPATE) පොහොර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජකයින් සම්බන්ධයෙන් (30 දින) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විශේෂයෙන් ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර තොගය මෙම මස පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. එම පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාවටත් ලබා දීමට සැලසුම් කර තිබේ. එමෙන්ම යුරියා පොහොර මෙ. ටො. 5000ක් සහ යල කන්නයේ වී වගාවට යොදාගත් යුරියා පොහොරවලින් යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම ප්‍රමාණය තේ වගාව සඳහාත් ලබා දීමට සැලසුම් කර තිබේ.

    මේ වනවිට රටේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු, සෝයා ‌බෝංචි, සෝගම් හා තෘණවල විශාල හිඟයක් පවතී. ඒ හේතුවෙන් දෛනික කිරි, බිත්තර හා කුකුල් මස් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී තිබේ.

    මව්වරුන්ට හා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු, මුං ඇට හා සෝයා බෝංචි හිඟය නිසා රජයේ එම කර්මාන්ත ශාලාව ද වැසී ගොස් ඇත. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් රටේ බඩඉරිඟු වගාව නැවත නංවාලීම සඳහා යුරියා පොහොර ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම ඉන්දීය රජය ලබා දෙන යුරියා පොහොර වී වගා කළ සියලුම ගොවීන්ට ලබා දීමට අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

    වී වගා කළ සියලු ගොවීන්ට වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස් මත වී වගා කළ ගොවීන් යම් කිසි අපහසුතාවයකට පත්ව ඇත්නම් එම ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. එමනිසා දැනට අස්වනු නෙලා අවසන්ව තිබුන ද ගොවීන්ට යුරියා පොහොර අවශ්‍ය නම් ඒවා ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා පැවසීය. එම ගොවීන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන් අනතුරුව එවා දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සම්බන්ධව පසුගියදා (29) සියලු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    එමෙන්ම ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර හෙක්ටෙයාර් 01කට කිලෝග්‍රෑම් 100ක් වන සේ ලබා දීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මේ අතර යුරියා පොහොර තොග ලැබීමෙන් අනතුරුව සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත ඒවා බෙදා හැරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සකසා තිබේ. කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

    යුරියා පොහොර ගොවීන් වෙත ලබා දීමට අදාලව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් තමන් පදිංචි ග්‍රාමයේ සේවයට නොයොදවා වෙනත් ගම්වල සේවයට යොදවා ඇත්නම් ඒ සියලු දෙනාට තම උපන් ගම්වලටම ස්ථාන මාරුවිම් ලබා දීම සදහා පියවර ගන්නා ලෙස ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දෙනු ලැබීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya