එහෙත් මෙරට ඇතැම් දේශපාලන කණ්ඩායම් රට පිළිබඳ වැරදි මත සමාජගතකිරීම නිසා ඒම ඉන්ධන සැපයුම්කරුවන් ද මෙරටට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගත වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
IOC සමාගමෙන් මෙරටට ලැබීමට තිබෙන පළමු ඉන්ධන නෞකාව පැමිණෙන්නේ, 22 හෝ 23 යන දිනවල බවත් දැනට මෙරටට පැමිණීම තහවුරු කර ඇති ඉන්ධන නෞකාව එය බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
එහෙත් ඊයේ රාත්‍රියේ ඇණවුම් කළ ඉන්ධන නෞකාවේ මිල ගණන් , වෙනදා ගත් මිලට වඩා වැඩි බවත් ඉන්ධන ලබා දීමට කැමති වූ එකම සමාගම එය බැවින් සහ ජනතාවට ඉන්ධන සැපයිය යුතු බැවින් ඊට එකඟ වූ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ඉන්ධන ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය .
වැඩි මුදලට හෝ ලබා ගත හැකි ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් එළඹෙන 22වනදා දක්වා ඉන්ධන ලැබෙන තුරු බලා සිටීමට සිදුවන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
රටේ ඇති විදේශ විනිමය අර්බුදයත් සමග සැපයුම්කරුවන්ගේ ණයවර ලිපි විදේශීය බැංකු පිළි නොගන්නා තත්ත්වයට පත්ව ඇති බව බලශක්ති අමාත්‍යවරයා පැහැදිළි කළේය. මෙම ගැටළු සහගත තත්ත්වය හමුවේ මෙරටට අඛණ්ඩව ඉන්ධන සැපයීම විශාල ගැටළුවක් බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේ විදෙස් සංචිත හිඟ වීම සහ නියමිත වේලාවට ගෙවීම් කිරීමට නොහැකිවීම යන කාරණා හේතුවෙන් මෙරටට ඉන්ධන සපයන සැපයුම්කරුවන් හිඟ වී ඇති බවත් මේ දිනවල නිසි ප්‍රසම්පාදන ක්‍රමයට ලංසු කැඳවුවද කිසිවකු ඉන්ධන සඳහා ලන්සු තබා නැති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඩොලර් මිලියන 800ට වැඩි හිඟ මුදලක් මෙරට ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.