රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සියල්ල තාවකාලිකව නතර කරන ලෙසත්, දැනට ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතුද පාඩු සිදු නොවන අයුරින් තාවකාලිකව නවතන ලෙසත් භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසිය. කෙසේවෙතත් මේ පිළිබඳ නිවැරදිව පැවසියහැක්කේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) රැස්වූ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරයන් විසින් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන අකාරය පිළිබඳ විමසූ අවස්ථාවේදීය.
මෙහිදී කොලඹ උතුර ෆර්ගියුසන් පාරේ නජීමා වත්ත සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ මෙම ඉඩම 2006 වර්ෂයේ සිට අඩු ආදායම්ලාභි ජනතාව ස්ථිර නිවාස වල පදිංචි කරන තෙක් තාවකාලිකව පදිංචි කළ අතරමැදි කඳවුරක් ලෙස භාවිත කරනු ලැබූ බවයි.නමුත් මෑත කාලයේදී යම් පිරිසක් මෙම අදාල ඉඩම තුළ බලහත්කාරයේ පදිංචි වී ඇති බැවින් ඔවුන් ඉවත් කිරීම සඳහා නීතිමය පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම මෝදර කිඹුලාඇළ ක්‍රීඩා පිටිය නැවත ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ඉල්ලීම පිළිබඳවද මෙහිදී සලකා බැලිනි. කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණවල නේවාසිකයන් වෙත ජල සැපයුම ලබාදීමේදී පවතින ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි. මෙහිදී මන්ත්‍රීවරයන්ගේ අදහස වූයේ කොළඹ නගරයේ වෙසෙන මහල් නිවාස හිමියන්ගෙන් මාසිකව නිවාස ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඇතුළත්ව එක් බිලක් ලැබෙන බවත් එහිදී අයකරනු ලබන ජල ගාස්තුව ඉතා අධික බවයි.
මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජලය සපයනුයේ තොග වශයෙන් නිසා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මිලගණන් අනුවම මාසික ගාස්තු අය කරන බවයි.
මෙහිදී අමාත්‍යවරයා විමසා සිටියේ එම ජල ගාස්තු අයකිරීම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සිදු කළ නොහැක්කේ කුමන හේතුවක් නිසාද යන්නයි. මෙහිදි නිලධාරීන් සඳහන් කළේ මහල් නිවාස කළමණාකරණය කිරීම සඳහා සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරිය (Condominium Management Authority )පිහිටුවීමට මේ වනවිටත් කටයුතු කරන බවත් එයින් පසුව මෙම දුෂ්කරතා මගහැරෙනු ඇතිබවයි.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාල ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.