ඉකුත් 09 වනදා සිය පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(11) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ආණ්ඩුවක් වැඩ කළ යුත්තේ නීතිය අනුවයි. අපි ව්‍යවස්ථාවෙන් පිට ක්‍රියා කරන්න යන්නේ නැහැ. ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ජනතාවගේ මතයට කන් දෙනවා.
ජීවන වියදම වැඩිවෙමින් ,රැකී රක්ෂා නොමැති වෙමින් ජනතාව බොහෝ දුක්විඳි බවත් , ඉන්ධන නොමැතිව, විදේශ විනිමය නොමැතිව රටේ ආර්ථිකය කඩා වැටුණු මොහොතක තමා අගමැතිධූරය භාරගත් බවත් අගමැතිවරයා පැවසීය.
එහෙත් ආර්ථිකය නැවත ගොඩ නැගීම දවසින් දෙකෙන් කළ නොහැකි බව පෙන්වා දුන් අගැමතිවරයා , ආර්ථිකය නැවත ගොඩ නැගීමට වසර 04ක් පමණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති බව සඳහන් කළේය.
මිනිස්සු විඳින දුක මම දන්නවා. ඒව මේ මාස කිහිපයේදී වැඩි වෙනවා. ඒ පිළිබඳව මම සමාව ඉල්ලා තිබෙනවා. තම පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා , අරගලය පැවති පසුගිය 09 වන සෙනසුරාදා තමා නිවසේ රැඳී සිටි බවත් එදින සවස් වරුවේ නිවසින් ඉවත් වන ලෙස පොලීසිය දුන් උපදෙස් අනුව තමා සහ තම බිරිඳ නිවසින් ඉවත් වූ බවද කීය.
මට ලංකාවෙත් පිටරටත් තිබුණු එකම ගෙදර.ඒ නිවස අද ගිනිබත් කර තිබෙනවා.මගේ ලොකුම ධනය වූයේ පුස්තකාලයයි.එහි පොත් 2500ක් තිබුණා.පෘතිගීසි සහ ඔිලන්ද කාලයේ ලියැවුණු පොත් පවා එහි තිබෙනවා. ජාත්‍යන්තර පොත් විශාල ප්‍රමාණයක් එහි තිබෙනවා. ඇතැම් කතෘවරුන්ගේ අත්සන් සහිත පොත් පවා තිබුණා. තමා එම පොත් කොළඹ රාජකීය විද්‍යාලයට සහ තවත් විශ්ව විද්‍යාලයන්ට පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටි බවද කීය.