ජූලි 21 දින පෙට්‍රල් ලබාදිය හැකි බවත් ලෝක ඉන්ධන මිලේ වාසිය මේ රටේ පාරිභෝගිකයාට ලබාදෙන බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ,අද (18) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේ, මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බවයි. එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකර ගොවි ජනතාවට පොහොර ලබාදී රටේ ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව ද පැවසීය.
''පැසිස්ට් ක්‍රමවේදයෙන් රටේ නීතිය හා සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නෑ. මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන. සාමකාමි අරගලකරුවන් පමණක් නොව ඉන් පිට අයටත් සහයෝගය ලබාදීම වුවමනයි. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. විධායක ජනාධිපති ක්‍රමය ගැන සාකච්ඡා කරන්න ඕන. පක්ෂ සාමුහිකව වැඩ කරල් රට ගොඩගන්නවද කියන එක වැදගත්. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඊළඟ වසර දෙක තුළ දි සැවොම එකතුවෙලා රට ගොඩගන්න. හැමෝම එකතුවෙලා රට ගොඩ ගෙන ඉදිරියට යමු. සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැප වී සිටින්නේ ඒ නිසයි'' යැයි වැඩබලන ජනාධිපතිවරයා පැවසීය.