හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපතිධූරයේ පුරප්පාඩුව සඳහා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී යෝජනාකොට සම්මත කරන ලදි.
මේ අනුව වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් මෙසේ යෝජනා විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා එය ස්ථිර කළේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පාර්ලිමේන්තුවේ සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එය ස්ථිර කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය ස්ථිර කළේය.
මෙම අපේක්ෂකයන් තිදෙනාගේ නාම යෝජනා 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා භාරගත් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය.
මේ අනුව අද (20) දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මෙම මන්ත්‍රීවරුන් තිදෙනා අතුරින් කෙනෙකු තෝරාපත්කරගැනීමට නියමිතව තිබේ.
(14) වැනිදා හිටපු ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකොට තිබුණි. මේ අනුව පසුගිය (16) දා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිධූරය හිස්වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළ අතර එම පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා භාරගන්නා බව නිවේදනය කළේය. එබැවින් ඊයේ (19) දින මෙසේ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාරගැනීම සිදු විය.
මේ අවස්ථව වන විට පාර්ලිමේන්තු සංකීර්ණය සහ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.