නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී තේරී පත් වීමෙන් අනතුරුව, ඔහුට සුබ පැතුම් එක් කරමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.
නව ජනාධිපතිතුමා තෝරා පත්කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ද ඡන්දය පාවිච්චි කළ බව, සැබෑ තත්ත්වය බවද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දේශපාලන මත වෙනස් වුවත්, කාගේත් මනුෂ්‍යත්වය එක බව පැවසූ, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා තමන් අවුරුදු 70ක පමණ කාලයක සිට රනිල් වික්‍රමසිංහ මහතාව ඇසුරු කරන බවද සඳහන් කළේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
“ ගරු කථානායකතුමනි, ශ්‍රි ලංකා සමාජවාදි ජනරජයේ 8 වැනි ජනාධිපතිතුමා හැටියට අද පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තේරී පත්වුණු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පළමුකොට අපි කාගේත් ප්‍රශංසාව පුද කරන්න කැමතියි.
සභානායකවරයා හැටියටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තු මඟින් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා එකමුතුවෙන් කැපවීමෙන් ඒ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට එක්වුණා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි සර්වජන ඡන්දයට වසර 91 ක් වෙනවා. එවන් දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය ආරක්ෂා කරමින් එය නියෝජනය කළ හැකි මන්ත්‍රීවරු රට පුරා ජනතාව විවිධ ප්‍රදේශවල විවිධ ජනතා කොට්ඨාශ නියෝජනය කරමින් පැමිණ එම අදහස් වාද විවාද කොට පාර්ලිමේන්තුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගොස් තියෙනවා.
1978 ව්‍යවස්ථාව අනුව අතිගරු ජනාධිපතිතුමා සඳහන් කළ පරිදි පුරප්පාඩුවක් පිරවීමට ජනාධිපති ධූරයේ ඇති ක්‍රියාදාමය මත අපේ පාර්ලිමේන්තුව දෙවන වරටත් මේ වගන්ති ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ඉටුකර ගැනීමට තමයි අද අපි සියලු දෙනා කටයුතු කළේ.
ඒ නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු හැටියටත් අපේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියටත් කිහිප වරක් අමාත්‍යවරයකු හැටියටත් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ වගකීම ඉෂ්ඨ කරන්න පුළුවන් බව අපි එකසිතින්ම දන්නා ජනතා තීන්දුවක් මේ පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශ කළා.
ඒ නිසා එසේ ප්‍රකාශ කරන්නට පුළුවන් විවිධ මත විවිධ යෝජනා අදහස්වලින් යුතු පාර්ලිමේන්තුවක් වුවත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ජනාධිපතිතුමාට පැවරෙනවා.
කෝවිඩි වසංගතය ලොවට කිසිදවසක නොසිතු අභියෝගයක් වුණා. ඒ කෝවිඩ් වසංගතයේ අපේ රට ඒ අර්බුදය හරහා ඉතාම සාර්ථකම රටක් බවට පරිවර්තනය වූයේ මාස ගණනාවකට පෙරයි. නමුත් ලොව වගේම අපේ රටද දැවැන්ත හා මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති වුණු මහජන විරෝධතා තුළින් ඇතිවුණු දේශපාලන අර්බුදයන්ද පෙරදැරි කරගෙන ජනාධිපතිතුමාගේ ඉවත්වීම නිසා මේ ධූරය යළි පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීමට හැකි අවස්ථාව ඇතිවුණු බව අපි ප්‍රකාශ කරන්නට ඕන.
ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. ගරු කථානායකතුමනි, අපි ආණ්ඩු පක්ෂය හැටියට ඉතාම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා අපේ අපේක්ෂක මැතිතුමාට ආණ්ඩුවත් ඒ වාගේම විරුද්ධ පක්ෂයේ බොහෝ අයත් ඡන්දය පාවිච්චි කළ බව සබෑ සටහනයි.එය සැබෑ සටහනයි. හංගන්න දෙයක් නෑ. මම ඒවා වැඩි විස්තර කරන්නේ නැහැ.
කුමන දේශපාලන පක්ෂයක් වුනත් මේ මැතිවරණයට ඉදිරිපත් වුණු ඩලස් අලහප්පෙරුම මැතිතුමාත් ඒ වාගේම අනුර කුමාර දිසානායක මැතිතුමාටත් අපි ස්තූතිවන්ත වෙනවා, මේ ඡන්දය රට වැසි ජනතාවගේ නියෝජිතයන් වූ අපි එලෙස ප්‍රකාශ කරන්න සහභාගිවුණු ක්‍රියාදාමය ගැන.
මම හිතන්නේ ජනාධිපතිතුමනි අවුරුදු 70 පමණ මම ඔබතුමා ආශ්‍රය කරලා තියෙනවා පොඩි කාලේ ඉදලා. දේශපාලන මතිමතාන්තර වෙනස් වෙන්න පුළුවන්. මනුෂ්‍යත්වය කියන දේ අප හැමට එකයි. අපේ රට වැසියාට එකයි. රට වැසියාගේ සියලු දෙනාට එකයි.
ඔබතුමාගේ ගිනි තබන ලද නිවාසයේ තිබෙන පොත් පත් අතර ඔබතුමාගේ පියා ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැලිකඩ හිර ගෙදරත් නුවර බෝගම්බර හිර ගෙදරත් රදවාගෙන සිටියදී බ්‍රිතාන්‍ය යුගයේදී ඔහු ඒ පොත් රැගෙන ගොස් තිබෙන බව සාක්ෂි සටහන් තිබෙනවා.
අනිත්‍ය පිළිබඳ විශ්වාසයක් අපිට තිබෙනවා. සදාකාලිකව එකම දේ ඒකාකාරව පවතින්නේ නැති බව ලෝකයේ ඔප්පු වී තිබෙනවා. අපි මේ අභියෝගය ජය ගත යුතුමයි. එය අභිනවයෙන් පත්වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ප්‍රජාතන්ත්‍රවාදීව ජනාතාවගේ සිතුම් පැතුම් අගය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ මේ දේශපාලන හා ආර්ථීක අභියෝගය මූල්‍යම අභියෝගයන් ජයගත් දේශයක් බවට පත් කරන්න පතිරූප දේශයක් බවට පත්කීරීමට ඇති මහා වගකිමට යළිත් වරක් සුබ පතමි.”