පක්ෂ දෙකකට සීමා නොකොට සියලු දෙනා ඒ සඳහා එක්කරගත යුතු බවත්, නිහඩව නොසිට රටේ සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිළි කර දි රට ගොඩනැගීමේ නව වැඩපිළිවෙළ ගමට ගෙන යාමට කණ්ඩායමක් ලෙස එක්විය යුතු බවත් ජනාධිපතිතුමා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු, හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරු අමතමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව සඳහන් කළේය.හමුව (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
යල් පැන ගිය ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක වැදගත්කම පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලුදෙනා අලුතින් සිතා අලුත් ගමනකට සූදානම් විය යුතු බවත්, ජනතා ගැටලුවට විසඳුම් නොසොයා පැරණි සටන් පාඨ කීමෙන් ඵලක් නොවන බවත් පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙසේ ද කීය.
“අපේ ගම්මාන නවීකරණය කරන්න ඕනෑ. අපි අලුතින් හිතන්න ඕනෑ. ඒ වගකීම අපි භාරගත යුතුයි. ඒක අපි බෙදිලා කරනවද, එකතුවෙලා ඒ පණිවිඩය රටට දෙනවද, වෙන අයට ඇවිල්ලා බෙදන්න ඉඩ දෙනවද, අපි සියලුදෙනාගේ පළමුවැනි යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීම. මම කිසි දවසක ගෙවල් ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට රට වෙනුවෙන් තීරණ ගැනීමේ දී අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණ වුණත්, එක්සත් ජාතික පක්ෂය වුණත් නිශ්ශබ්ද වෙලා ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ, ආණ්ඩු බලය අපේ අතේ තිබෙන්නේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු. මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසදන්න තිබෙන හොදම ක්‍රමය. ඒ වගේම එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ”
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, වසන්ත යාපා බණ්ඩාර, උදේන කිරිදිගොඩ, එක්සත් ලක් වනිතා සංවිධානයේ සභාපතිනි ශාන්තිනි කෝංගහගේ, මහනුවර නගරාධිපති කේෂර සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.