ඒ අනුව පළාත් පාලන ආයතන ඉදිරිපත් කෙරුණු මෙතෙක් අනුමත නොකෙරුණු සැලසුම් සම්බන්ධ ගැටළු කඩිනමින් විසඳීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් විශේෂ ජංගම සේවයක් ද ක්‍රියාත්මක කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ආරම්භ කළ මෙම විශේෂ ජංගම සේවාව දිවයිනේ පළාත් 9 ම ආවරණය කරමින් දිස්ත්‍රික්ක 26 පුරාම පැවැත්වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, වයඹ, මධ්‍යම, දකුණ, උතුරුමැද, සබරගමුව යන පළාත් හතෙහි සියලුම දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි ජංගම සේවාව පවත්වා අවසන් අතර එමගින් එම පළාත්වල සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන්හි ප්‍රමාදවෙමින් පැවති සංවර්ධන සැලසුම් සඳහා කඩිනමින් අනුමැතිය ලබාදී ජනතා ගැටළු විසඳීමට කටයුතු කර ඇත.
එමෙන්ම ඉදිරියේදී උතුරු හා ඌව පළාත් ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව පැවැත්වීමට නියමිතව ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාෂිත බලප්‍රදේශයක සිදුකරනු ලබන සංවර්ධන කටයුතුවලට අනුමැතිය ලබාගැනීම නාගරික සංවර්ධන අධිකාරියෙන් සිදුකළ යුතු බවයි.
සංවර්ධන සැළසුම් සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ පළාත්, දිස්ත්‍රික් හෝ පළාත් පාලන ආයතන වෙත යොමුකර ඇති අයඳුම්පතකට අදාළව මෙතෙක් විසඳී නොමැති ගැටළු කඩිනමින් විසඳීම මෙම විශේෂ ජංගම සේවය ආරම්භ කළ බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව පළාත් පාලන ආයතනවලට යොමුකළ, මෙතෙක් විසඳුම් නොලැබුනු ඉඩම්, නිවාස සම්බන්ධ සැලසුම් සහ ගැටළුවලට දින දෙක තුනකින් විසඳුම් ලබාදෙන බව කී අමාත්‍යවරයා සියළුම ප්‍රශ්න දෙස මානුෂික ඇසකින් බලන ලෙසත් නිළධාරීන්ට උපදෙස් දුන් බවද කිවේය.
මෙම වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ජංගම සේවය පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහනවයම ආවරණය වන පරිදි පැවැත්වූ අතර එහිදී පළාත් පාලන ආයතන මගින් මෙතෙක් විසඳා නොමැති ගැටළු විසඳීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්හ.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ලිපිගොනු 24ක් සහ පළාත් පාලන ආයතනවලට අදාළ ලිපිගොනු 09ක් පිළිබඳව සාකච්ඡා කෙරිණ. ඒ අනුව විවිධ ගැටළු හේතුවෙන් අනුමැතිය නොලැබුණු ලිපිගොනු 21 ක් සඳහා අනුමැතිය ලබාදීම එම ජංගම සේවයේදී සිදුකෙරුණු අතර තවත් ලිපිගොනු 11ක් සඳහා අඩුපාඩු සම්පූර්ණ කළ යුතු බවද එහිදී අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්හ.