ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (06) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුහ.
විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ හිටපු අමාත්‍ය දයා ගමගේ හා අනෝමා ගමගේ යන මහත්ම මහත්මින් විසින් පිළිගනු ලැබීය.
ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
අත්දැකීම් බහුල දේශපාලන නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා අභියෝගකාරී අවස්ථාවක, බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ පරිදි ජනාධිපති ධූරයේ භාරධූර වගකීම භාරගත් බව සඳහන් කළ මහා නායක හිමියෝ රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට එතුමාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බව පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පුද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාමකාමී විරෝධතාවලට ඉඩදීම මෙන්ම නීති විරෝධි ක්‍රියා මැඩලීම රජයේ වගකීම බවයි.
මෙහිදී අදහස් දැක්වූ අනුනායක හිමිපාණන් වහන්සේ,
ඔබතුමා එදා සිටම මහා සංඝරත්නය සමග ඉතා සමීපව කටයුතු කළ නායකයෙක්. ඔබතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අප මහත් සතුටට පත් වෙනවා. දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් සහ අත්දැකීම් සම්භාරයක් ඔබතුමාට තිබෙනවා. පසුගියදා ඔබතුමාගේ නිවස සහ පණ මෙන් රැකගත් පොත් පත් විනාශ කිරීම පිළිබඳ අප ඉතාමත් කණගාටුවට පත් වෙනවා.
පසුගිය කාලයේ ඇතැම් භික්ෂුන් වහන්සේ සහ ඇතැම් ආගමික නායකයින් ප්‍රමාණය ඉක්මවා දේශපාලනයේ නිරතවීම පිළිබඳ අපි කණගාටු වෙනවා. මහා සංඝරත්නය ලෙස අපට කළ හැක්කේ ඔබතුමන්ලාට උපදෙස් දීම පමණයි.
රජයත් ජනතාවත් අතර විශ්වාසය ගොඩනගා ගැනීමට නායකයන් කටයුතු කළ යුතුයි. එහෙත් පසුගිය කාලයේ එසේ සිදු නොවිම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා.
අපේ රටේ තිබූ තත්ත්වය නිසා කිසිදු ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයා ලෙස ඔබතුමා බැඳී සිටිනවා. එය වරදක් නෙවේ. ඔබතුමා මේ රටේ සියලු ජනතාවට සාමකාමීව ජීවත්වීමට ඉඩ සලසුනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ජනාධිපති මාධ්‍ය අංශය