මේ වන විට ඉන්ධන සැපයීම විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හරහා පාසල් වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මෙවර උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැළසුම් ඇති බවයි. 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ඉදිරි සති දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය. අගෝස්තු 15 වන දින ඒම ප්‍රථිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වීසිටියද රටේ පැවති අයහපත් වාතාවරණය නිසා ප්‍රායෝගික පරීක්ෂණ නියමිත දිනට නොපැවැත් වූ බැවින් මෙම ප්‍රමාදය ඇති වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා , වර්ෂ දෙකේදී දින 400ක් පාසල් පැවැත් වේ.මේ වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා බස්නාහිර පළාතෙන් පිට දින 309ක් සහ , බස්නාහිර පළාතේ දරුවන් සඳහා දින 245ක් පාසල් පවත්වා ඇත.ඒ අනුව ඉදිරි මාස තුන තුළදී ඉතිරි පාසල් දින ගණන සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
සියළුම විශ්ව විද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරුන් සම්බන්ධකරගනිමින් පාසල් සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගුරු මණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බවත් උසස් පෙළ විෂය පථය සම්බන්ධයෙන් යම් මග හැරීමක් ඇත්නම් ඒ සියළු කරුණු ඉදිරි මාස තුන තුළදී සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිළි කළේය.