සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට තායිලන්ත අගනුවර වෙත ගමන් කළ පෞද්ගලික ගුවන් යානයේ ගාස්තු ගෙවා ඇත්තේ ජනතාවගේ බදු මුදලින් බව සඳහන් කළ මාධ්‍යවේදියෙක් හිටපු ජනාධිපතිවරයා මේ වරප්‍රසාද යටතේ තවමත් ජීවත්වන්නේ දැයි ප්‍රශ්නයක් ඇසීය.
හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමිව ඇතැයි ඊට පිළිතුරු වශයෙන් තමා ප්‍රකාශ කළ බව ඇමතිවරයා සඳහන් කරයි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දී ඇති බව ඇමතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
“ඒ හැර හිටපු ජනාධිපතිවරයා හෝ ඔහු සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගිය ගමන ගැන හෝ මා කිසිවක් සඳහන් කළේ නැහැ. ඒ පිළිබඳව තවදුරටත් විස්තර සොයා බැලීමට හැකි බව මම ප්‍රකාශ කළා. මා කී දේ එපමණක් වුවත් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට බැංකොක් බලා ගිය ගමනට රජයේ මුදල් වැය කළ බව මා කීවේ යයි ඇතැම් මාධ්‍ය අද (17) වාර්තා කර තිබෙනවා. ඔවුන් කර ඇත්තේ මා කී දේ විකෘති කිරීමක්”, බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඊයේ (16) මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නය සහ ජනමාධ්‍ය ඇමතිවරයා ඊට දුන් පිළිතුර මෙසේයි.
ප්‍රශ්නය - ඇමතිතුමනි, දැන් අපේ හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරුවේ ඉඳලා නැවත තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කරා. එහි දී ඔහු පාවිච්චි කළේ පුද්ගලික ගුවන් යානයක්. මේ සඳහා මුදල් ගෙවල තියෙන්නේ ලංකා රජයෙන්. මේක මේ ජනතාවගේ බදු මුදල්. මේ වරප්‍රසාද යටතේද ඔහු තාමත් ජීවත් වෙන්නෙ ඇමතිතුමනි,
පිළිතුර - ඔව්. මොකද ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාටත්, ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධිවිධාන තිබෙනවා. හිටපු ජනාධිපතිතුමෙක් අභාවප්‍රාප්තවීමෙන් පසු ආර්යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ මගේ දැනීමේ හැටියට වගකීමක් තිබෙනවා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දීල තිබෙන බව තමයි මගේ සාමාන්‍ය දැනීම. මට ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව බලන්න පුළුවන් ඉදිරියේදී.