දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා සිටියේ , ඓතිහාසික ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වූ අම්පාර නගරය මහ නගර සභාවක් බවට පත් කිරීමට එතෙක් මෙතෙක් නොහැකි වූවද එම ඉතිහාසගත කාර්යය ඉටුකිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා කළ මෙහෙවර අගය කළයුතු බවයි.
විවිධ දේශපාලන අධිකාරිත්වයන්ගේ බලපෑම් හේතුවෙන් වසර ගණනාවක් උත්සාහ කළත් කරගත නොහැකි වී තිබූ අම්පාර නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීමේ කාර්යභාරය කඩිනමින් කරදීම පිළිබඳ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දිස්ත්‍රික්කයේ ජනතාවගේ කෘතවේදීත්වය හිමිවන බව, අම්පාර දිස්ත්‍රික් පා.ම. ඩී වීරසිංහ මහතා පැවසීය. ඩී.එස්. සේනානායක මැතිතුමා ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවූ අවධියේ සිට ප්‍රධාන නගරය වූයේ අම්පාර වුවත්, අම්පාරට මහ නගර සභාවක් ලබා නොදීම තුළ විය යුතුව තිබූ විශාල සංවර්ධනයක් සිදු නොවුනු බව සඳහන් කරණ මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ දෙකක් වන, කල්මුණ,සහ අක්කරපත්තුවට මහ නගර සභා ලබා දීම තුළ ඒ ප්‍රදේශවල දියුණුව වේගවත් වූ බවත් කීය.
වන්නි දිස්ත්‍රික් පා.ම. සෙල්වම් අඩෙක්කලනාදන් මහතා( ටී එන් ඒ ) කියා සිටියේ, වව්නියාවට මහ නගර සභා තත්ත්වය ලබා ගැනීම සඳහා මෙතෙක් කලක් උත්සාහ කළද, කඩිනමින් මහ නගර සභාවක් ස්ථාපිත කරවීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කිරීම පැසසුම් සහගත බවයි. පරිපාලන බලය විමධ්‍යගත කිරීමටද මෙය හොඳ අවස්ථාවක් බවද වැඩිදුරටත් හෙතෙම පැවසීය.
වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටු සම සභාපති, වන්නි දිස්ත්‍රික්ක පා.ම. (ඊපීඩීපී) කුලසිංහම් දිලීපන් මහතා සඳහන් කළේ, වවුනියාව නගර සභාව මහ නගර සභාවක් ලෙස උසස් කිරීමට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගත් පෞද්ගලික උනන්දුව හා කැපවීම සම්බන්ධයෙන්, වව්නියාවේ ජනතාව වෙනුවෙන් අවංකව ම කෘතවේදීත්වය පළ කරන බවය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කළුතර නගරයට සිදුව තිබූ ඓතිහාසික වරදක් නිවැරදි කළ බව, හිටපු රාජ්‍ය අමාත්‍ය, කළුතර දිස්ත්‍රික් පා.ම. ජයන්ත සමරවීර ප්‍රකාශ කළේය. 1923දී ඉංග්‍රීසීන් කළුතර නගර සභාව ස්ථාපිත කළ බවත්, එසේ කළුතර සමග නගර සභා වූ අනෙක් ඒවා මහ නගර සභා බවට පත් කළත්, අවුරුදු 98ක් තිස්සේ කළුතරට එම අවස්ථාව ලබාදී නොතිබූ බවත්, ඔහු කීය.
තේ, රබර්, පොල් යන ප්‍රධාන අපනයන බෝග වගා කරන දිස්ත්‍රික්කයක් වූ කෑගල්ලේ අග නගරය වූ කෑගල්ල නගරය සඳහා මහ නගර සභා තත්ත්වය නොලැබීම මෙතෙක් තිබූ විශාල අඩුපාඩුවක් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සම්පූර්ණ කරදී ඇත්තේ ඒ අඩුපාඩුව බවත්, පළාත් පාලන මන්ත්‍රී සංසදය සඳහන් කළේය. මෙරට දිග ම නගරය ලෙස සලකනු ලබන කෑගල්ල නගරය වෙත විවිධ අවශ්‍යතා සඳහා දිනකට පැමිණෙන 200,000 කට අධික ජනතාවට පොදු පහසුකම් සැපයීමේ කේන්ද්‍රස්ථානය වන කෑගල්ල නගර සභාවට, මහ නගර සභා බලතල ලැබීම, සංවර්ධන සඳහා ඉමහත් පිටුබලයක් බවද එම සංසදය පැවසීය.
වඩා බලවත් මහ නගර සභා ආඥා පනත යටතේ ස්වභාවිකව එම පළාත් පාලන සභාව සුවිශේෂී නීති උරුමයන් රාශියක් හිමිකර ගනී. ඒවා අතරට, විශේෂ බදු ආදායම් ලැබීමට මෙන්ම, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, සමාජ සුබසාධන ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිපාලන සඳහා වන නීති රෙගුලාසි ද ඇතුළත් වන්නේය.