රජයේ නිල සන්නිවේදකයා ලෙස රජයේ ජාතික සංවර්ධන වැඩපිළිවෙල හා රජය විසින් ඉටු කරනු ලබන මහජන සේවා පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, රාජ්‍ය සන්නිවේදන කටයුතු විධිමත්ව හා ඵලදායීව ඉටු කරන අතරම, ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ සබුද්ධිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණෙන් සහ ජනමාධ්‍ය විෂය පිළිබඳව හරවත් කතිකාවක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව “ජාතික මාධ්‍ය සංකථන” ශාස්ත්‍රීය ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය විසින් එළිදක්වා තිබෙන ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් ජනමාධ්‍ය විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත උගතුන් හා ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ අදහස් හා මතවාද වෙනුවෙන් පුළුල් වේදිකාවක් නිර්මාණය කිරීම මෙමගින් සිදු කෙරේ.
වෘත්තීය ජනමාධ්‍ය කලාව, ජනමාධ්‍ය සාක්ෂරතාවය හා ජනමාධ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය සමග මෙම ව්‍යාපෘතිය දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිත බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක සහ මෙම ග්‍රන්ථයෙහි සංස්කාරක මණ්ඩල සාමාජිකයින් වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු අංශාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය කමල් වලේබොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කල්‍යාණි විජේසුන්දර, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කළණි ඉරෝෂා ධර්මසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.