ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී (01දින) අය වැය විවාදයට එක්වෙමිනි.
රජය, දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අවතීර්ණය වී ඇති බවත්, රටත් ආර්ථිකයත් ගොඩනැගීම සඳහා වූ කාර්යභාරයට එක්වී කටයුතු කර, ඉන් පසු ව්‍යවස්ථානුකූලව ඡන්දය පැවැත්විය හැකි බවත් ඔහු කියා සිටියේය.
ප්‍රවාහනය හා බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා, ගම් මට්ටමින් නිෂ්පාදනය ඉහළ නන්වා ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරන බවද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...
"...ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අතුරු අයවැය ලේඛනයේ දෙවනි දිනයේදී වචන ස්වල්පයක් කතා කිරීමට හැකි වීම ගැන සතුටු වනවා. විශේෂයෙන් අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කළ හැකි ශක්තිය රජය විසින් ක්‍රියාත්මක කරන කරන බව පළමු කොට ප්‍රකාශ කරන්න කැමතියි.
අද අපි මුහුණ දී සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට. නමුත් මේ නිසා යළි නැඟී සිටින්නේ නැතිය යන එසේ කරන්නට බැහැය යන මතයට අප දායක විය යුතු නැහැ. අපට පුළුවන්කම තිබෙනවා, මේ අර්බුදයෙන් හිස ඔසවා යළි ගොඩ එන්න. ඒ නිසා එවැනි අඳුරු අදහස් ඇත්නම් එය සෘණාත්මක සංකල්පයක් පමණයි. ඒ සඳහා වටිනා කාලය අපි මිඩංගු නොකර වැඩි වැඩියෙන් වෙහෙස මහන්සි වී කටයුතු ඉටු කරන්න කැප වෙන්නට ඕනේ.
අපි මුහුණ දෙන අර්බුදයේ දරුණුත ම ලක්ෂණය බවට මුල්‍ය හා ආර්ථිකය වර්ධන වේගය කඩා වැටීමේ බරපතළ තත්ත්වය, හඳුන්වා දිය හැකියි. ඒ බව ජනාධිපතිතුමා අය වැය කතාවේ දී ප්‍රකාශ කළා. එපමණක් නොව, පාර්ලිමේන්තුව සැසිවාරය විවෘත කරන කතාවේදී ද ප්‍රකාශ කළා.
මේ ප්‍රශ්ණය හමුවේ ආණ්ඩුවයි විපක්ෂයයි අතර යම්කිසි සාකච්ඡා මාලාවල් ඇති කළ යුතුය. අන්කිසි දවසකට වඩා දරුණු අර්බුදයක් තිබෙන බව, එකඟතාවයකින් දෙපාර්ශවය ම ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා අද දින වන විට විරුද්ධ පක්ෂය ඒ කළ ප්‍රකාශයන් ගැන සිහිපත් කරන්නේ නැහැ. මේ අතුරු අයවැය ලේඛනයේ සහනයන් දිහා හෝ වැඩපිළිවෙලවල් දිහා බලන්නේ ඒ ගැඹුරු ප්‍රකාශය, කළ අය හැටියට නොවන බවත්, හුදෙක් විවේචනයක් සඳහා පමණක් බවත් කණගාටුවෙන් සඳහන් කරන්න ඕනේ.
දැන් ආර්ථික ප්‍රතිසංස්කරණ අපි ප්‍රකාශ කළා. මුදල් ඇමතිතුමා හැටියට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.ඒ වගේම අපේ රටේ තිබෙන ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක අර්බුදය පිළිගනිමින් ඒවාට කෙටිකාලීන විසඳුමක් ලෙස අයවැය ලේඛනයෙන් පියවර රාශියක් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුත්තේ ඒ පියවරවල් සම්බන්ධයෙන්.
නමුත් දැන් අපෙන් ඇහුවා සමහරවිට ප්‍රචාරය සඳහා වන්න පුළුවන්. විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා කිව්වා කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයකට පියවර අරගෙන නෑ කියලා. ආර්ථික ප්‍රතිසංස්කරණ කිසිවකට අවතීර්ණ වෙලා නෑ කියලා. ඉතිං ප්‍රචාරය සඳහා හොදයි. නමුත් සත්‍ය එය නොවන බව හෘදසාක්ෂිය කියයි.
දීර්ඝ සාකාච්ඡාවකින් පසු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. විරුද්ධ පක්ෂයේත් රටේ ජනතාවගේත් විශාල කොට්ඨාශයකගේ ඉල්ලීමක් එය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රධාන කරුණුවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනය කරන්න කියලා කිව්වා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමතිතුමා ඉන්නවා. එතුමා ඉදිරිපත් කළා. එය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අප වෙත තාම ලැබිලා නැහැ. එය ලැබුනට පස්සේ තමයි පාර්ලිමේන්තුව තුළ විවාද කොට සම්මත කිරීමට අවතීරණය විය හැක්කේ. ඉතිං මේ ව්‍යවස්ථානූකූල අ යන්න මම පැහැදිලි කරන්න තව වේලාවක් ගන්නේ නැහැ.
පාර්මේන්තුව තුළ විශේෂ කාරක සභා රාශියක් ඇති කරමින් තවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලට අපි බැහැලා තියෙනවා. අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා විරුද්ධ පක්ෂයත් එක්ක. සභානායකතුමත් සංවිධානායකතුමත් හිටියා පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කළා අපි ජාතික සභාව පිහිටුවීම ගැන. ඊයේ දිනයේ සවස් වනකොට ඒ සඳහා කරුණු ඉදිරිපත් කරන්න එකඟ වුණා. සමහර පක්ෂ මේ වනකොට තමන්ගේ කරුණු, යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා එහි සංයුතිය පිළිබඳ. රජය එකඟතාවයන් අනුව කටයුතු කරමින් තිබෙනවා.
ඒ වගේම අපි යළිත් කියන්න කැමතියි. මේ ඉලක්ක කරා සියලු දෙනාගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමයි, අපි කවුරුත් කළ යුත්තේ. අර්බුදය ඉතාම බරපතළයි. මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් මාර්ගයට ජාත්‍යන්තරව තිබෙන සාකච්ඡාවල් සාර්ථක වෙමින් පවතිනවා. ඉතාම සතුටුදායක තත්ත්වයක පවතිනවා.
සභානායකතුමාත් ප්‍රකාශ කළා, ADB එක ඇතුළු එක්සත් ජාතින්ගේ සංවිධාන වගේ රාශියක් අපගේ සහයෝගයට ඇවිල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කෙරුණු සාකච්ඡාවල් සතුටුදායක බවත්, ඒ පිළිබදව ශ්‍රී ලංකාව එක්ක ඉදිරියට යන්න පුළුවන් බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. එය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.
ඉතින් අපි වගකීමෙන් මේ ඇතිවී තිබෙන විශ්වාසය මත යළිත් රටත් ආර්ථිකයත් ගොඩනැගීම සදහා වූ කාර්යභාරයට එක්වී කටයුතු කරමු. ඉන් පස්සේ අපිට පුළුවන් ඔබලා කියන කාලය අනුව ව්‍යවස්ථාව අනුව ඡන්දය පැවැත්වීම සදහා ගමන් කරන්න.
මම සිහිපත් කරන්න කැමතියි. මේ අයවැය ලේඛනයේ විශේෂයෙන් සංශෝධනයන් ඉදිරිපත් කිර ඇත, අතිරේක වියදම් අඩුකරන්න. ඒ වාගේම ඉන්දියානු ණය සහනාධාර, විදේශාධාර, ඒ වගේම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළට අවශ්‍ය වැය ශීර්ෂ, වියදම් අඩුකර ගැනීම සදහා මේ මස දෙසැම්බර් දක්වා අවශ්‍ය පියවරවල් යෝජනා කිරීමට මේ අය වැයෙන් සංශෝධනය ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒ නිසා ඒ අනවශ්‍ය වියදම්ද අඩු කරමින් ඉතා පැහැදිලි ක්‍රියාමාර්ග රාශියකට හා ජනතාවගේ සහනයන්ට අපි ගමන් කරන්න පුළුවන් යෝජනා රාශියක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා.
මම සිහිපත් කරන්න කැමතියි, කෝවිඩ් වසංගතයෙන් අපි බැටකාලා වැටුණා. අපිට නෑ කියන්න බෑ. අපේ ආර්ථිකයේ නිෂ්පාදන මාර්ග සමහර කාලෙකට මාසෙකට එකහමාරකට වහලා දාන්න සිද්ධ වුණා, ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගන්න. එතැන් පටන් ලෝක ආර්ථිකයේ පසුබෑමක් පවතිනවා. මේක තමයි ජාත්‍යන්තරව තිබෙන සැබෑ තත්ත්වය. එක්සත් ජනපද ඇමරිකාව ඇතුළු ලෝක ආර්ථිකයේ පසුබෑමක් තිබෙනවා. විවිධ ගැටලු. විශේෂයෙන් බලශක්ති අර්බුදය හා ඒවායේ හිඟයන් බලපාන තත්ත්වයකට ගමන් කළා.
එක්සත් ජනපද ඇමරිකාවේ ජනාධිපතිතුමා ජෝ බයිඩන් Joe Biden us president Joe Biden on the 9th of June 2022 only four months ago One of the reasons prices gone up is because her hand full of companies Who control the market have race shipping prices by as much as thousand percentage. Its out rages he says. I am calling on congress to crack down them.
ලෝක බඩු ප්‍රවාහනයට තිබෙන නැව් ගමනාගමනයේ රක්ෂණය වැඩි කළා. ඒ වාගේම ඒවායේ මිල ගණන් වැඩි කළා. ඒ නිසා ඇමෙරිකාවේ ජනාධිපතිතුමා කරන ප්‍රකාශය අපි කාටත් තේරුම් ගන්න ඕනේ.
ඒ අවාසිදායක තත්ත්වයන් තුළ අපනයනයන් වැඩි කර ගැනීමට අපි හැරී තිබෙනවා. අපේ ආනයනයන් බොහෝ දුරට කපා හරින්නට සිද්ධ වුණා. ඒ නිසා ඒ අලුත් වෙළෙඳපොළවල් කරා ගමන් කරන්නට පුළුවන් ක්‍රියාමාර්ගයට අපි යොමුවිය යුතුයි.
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් ඒ වාගේම ජාත්‍යන්තර අනිකුත් ආයතන හා අපට ආධාර දීමට උදව් කිරීමට අත්වැල් බැඳගෙන ඉන්න රටවල් වෙනුවෙන් අප මේ අවස්ථාවේදී විශ්වාසය යළි ප්‍රකාශ කරනවා.
එයයි පාර්ලිමේන්තුව කළ යුත්තේ. මම හිතනවා පාර්ලිමේන්තුව එක්සත්ව, අපට සහයෝගය දෙන මූල්‍ය ආයතන හා රටවලට දැනෙන ආකාරයට එලෙස එක්සත්ව මේ ක්‍රියාමාර්ගයට අප අවතීර්ණ වුණොත් අපිට ශක්තිමත් රටක් බවට පරිවර්තනය කර ගැනීමේ හා ජනතාවගේ විශ්වාසය ඇති කර ගැනීමේ පුළුවන්කම තිබෙනවා.
විශේෂයෙන් අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් මම කලිනුත් දවසක් ප්‍රකාශ කළා. මේ අයවැය ලේඛනයේද එය ප්‍රමුඛව පවතිනවා. ඒ තමයි, ප්‍රවාහනය හා බලශක්තිය පිළිබඳ අපේ රට ජාතික වැඩපිළිවෙලක් නෑ. මේ පිළිබඳව විශේෂඥයන් විවිධ කාලවල, විවිධ අවුරුදුවල දිගටම ප්‍රකාශ කරනවා, හැම ආණ්ඩු කාලයක්ම.
ඒ නිසා දැන් අපි මුහුණ දෙන්නේ එවැනි පැහැදිලි ප්‍රතිපත්තියකට අවතීර්ණ වෙන්න ඕන කාලයකට. අපි තාම තෙල් නිෂ්පාදනය නොකරන රටක්. විදුලිබල නිෂ්පාදනය හරියාකාර කළමනාකරණය කර ගැනිමේ ක්‍රියාමාර්ගයකට ඇතුළත්වීමට අපට සිදුවනවා.
ඒ වාගේම ඇති නැති පරතරය වැඩි වෙමින් පවතිනවා. එය මේ වන විට ශ්‍රී ලංකාවටද බලපාලා තියෙනවා, මේ පසුගිය කාල පරිච්ඡේදයන් හරහා. නමුත් රජයේ බදු ආදායමේ ප්‍රබල ආදායමක් බවට පරිවර්තනය කර ගැනීමේ ඕනෑකම තිබෙනවා.
අපේ රාජ්‍ය වියදම්, විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඒ වාගේම, විශ්‍රාම වැටුප් වැනි වියදම් අපේ ආදායම හා කිට්ටු වෙනවා. ඒ නිසා ආර්ථික සංවර්ධනයක් කරා ළඟා කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍යමයි.මේ ජාතික පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා සහභාගීත්ව, හවුල්කාරීත්වය අවශ්‍යයි.
අපේ රටේ කොදු ආර්ථික නාරටිය ගොවි ජනතාවයි. කෘෂිකර්මාන්තයයි. එය නඟා සිටුවීම සඳහා අවශ්‍ය සියලු සහයෝගයන් මේ අයවැය ලේඛනයේ ප්‍රකාශ කරලා තියෙනවා. පොහොර සිට ණය ආධාර කපා හැරීම දක්වා.
ඒ වගේම විශේෂ බරකින් අපේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම කළ යුතුයි. ඒ වගේම බොහෝ සෙයින් කථා වු ප්‍රධාන දෙයක් තමයි, අපේ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන. රජයේ ආයතනයන් ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධව විවිධ, අර්ථ නිරූපණය කරනවා. සියලු දේ පුද්ගලිකකරණයට පරිවර්තනය වෙනවා කියා.ලාභයට පරිවර්තනය කර ගැනීමට හැකි ආයතන ගැන අනුගමනය කරන්නට තිබෙන ප්‍රතිපත්ති දිහා අපි බලන්නට ඕනේ. එහෙම බලලා තියෙනවා කලිනුත්.
මම සිහිපත් කරන්න කැමැතියි, අපේ රටේ විදුලිබල මණ්ඩලය, මෙය පළවැනියෙන් ම පටන් ගත්තේ Electricity Advisory Board, 1994. Central Electricity Board, 1951. Ceylon Electricity Board, 1969. Lanka Electricity Company subsidiary, 1982. ඉතින් මේ ආකාර වශයෙන් අප විවිධ ආකෘති දිහා බලන්න ඕනේ.
වැය ශීර්ෂය භාණ්ඩාගාරය මත පටවන ක්‍රියාදාමයෙන් ඉවත් වෙන්න බලන්න ඕනෙ. ඒ නිසා ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් එවැනි නිර්මාණශීලි වැඩසටහන් සඳහා අලුත් මොඩලයන් පාවිච්චි කරන්න වෙනවා. නැතුව මේ අලාභය භාණ්ඩාගාරයට ගෙවමින් සිටින්නට බැරි අර්බුදයකට අපි ගමන් කර තිබෙන්නේ.
මම සඳහන් කරන්න කැමැතියි, අපි මේ අයවැය ලේඛනයේ ඇති වී තිබෙන සහනයන් අතර විශ්‍රාම වයස 60 දක්වා කලින් තිබුණු තත්ත්වයට ගෙන තිබෙනවා. ඒ වාගේම වැට් බද්ද ඉදිරිපත් කරලා තිබෙනවා. ජාතික ණය කළමනාකරණ ආයතනයක්. අපි කුඩා, මධ්‍ය හා මහා, කර්මාන්ත වෙත අපේ බැංකු ඔක්කොම ණය දීලා තියෙනවා. රජයේ සංස්ථාවල් සඳහා ණය දීලා තියෙනවා. මේ රජයේ ප්‍රධාන බැංකු දෙක යළිත් හරි මඟකට පරිවර්තනය කරන්න ඕනෙ. ඒ බර ඒ ආයතන විසින් හැකිද නැද්ද යන්න බැලිය යුතුයි. ජාතික සංවර්ධන ක්‍රියාදාමයට මේ රාජ්‍ය බැංකුවලටද දැවැන්ත කාර්ය භාරයක් වගකීමක් අද පැවරෙන බව මේ අයවැය ලේඛනයෙන් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ බැංකු සියල්ල විකුණනවා කියන කතාව නොවෙයි. එය වැරදි කතාවක්. විරුද්ධ පක්ෂය වගකීමකින් මේ ගැන කටයුතු කළ යුතුයි කියන එකයි අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්නට ඕන.
අපේ රටේ ජනතාවගෙන් වැඩි දෙනා වන, ග්‍රාමීය කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා සමාජ ආරක්ෂක දැල වැඩි කිරීමට පියවර රාශියක් අරගත්තා. එම ලේඛණය මම ඉදිරිපත් කරනවා කියවන්න යන්නේ නැහැ,මගේ කතාවේ කාලය හමාර වී තිබෙන නිසා.
මම ඉතාම ඕනෑකමින් කියන්න ඕන අපේ විදේශ සංචාරකයන්ට පනවා තිබුණු තහංචි මේ වන විට සමහර රටවල් අයින් කරලා තියෙනවා. අපි ඉදිරියට විදේශ සංචාරකයන් ගෙන්වා ගන්නා කාල පරිච්ඡෙදයකට යනවා. මේ තුළින් විදේශ විනිමය වැඩි කර ගන්න අපිට අවතීරණ වෙන්න පුළුවන් කියා විශ්වාසය තිබෙනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ ආර්ථික ගමනේ ග්‍රාමීය ප්‍රජාව කෙරෙහි තබන විශ්වාසය වැඩි කරමින් ආහාර නිෂ්පාදය අතින් අපි ඩොලර් වවමු කියන අලුත් සංකල්පය ඇති කරනවා. ආහාර නිෂ්පාදනය කරන්නේ පිටරටින් ආහාර ගේන්න යන මිල අපේ රටේ ඉතුරු කරගන්න සහ අපේ අතිරික්තයක් අපනයනය කරන්න. මේ ක්‍රියාමාර්ගය තුළ තමයි අපිට යළි හිස ඔසවන්න වෙන්නේ.
ග්‍රාම සේවක කොට්ඨාශ 14000කට වැඩි ප්‍රමාණය මුල් කරගත් ඒ අලුත් වැඩසටහන, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ආහාර සුරක්ෂිත කිරීමේ ජාතික මහ වැඩපිළිවෙලට අන්තර්ගත කරලා දියත්වෙනවා. එයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ඒ වගේම ජාත්‍යන්තර ආයතන ගණනාවක සහයෝගය ප්‍රකාශ කරනවා. එහෙම වෙන්නෙ ග්‍රාමීය ආර්ථික ශක්තිය යළිත් ගොඩනැගීම සඳහා වූ ගමන ශක්තිමත් කරන්න පුළුවන් විශ්වාසය නිසයි.
ඒ නිසා මේ අවස්ථාවේදී පටු දේශපාලන මතයන්ගෙන් දුරු වෙලා අපි කවුරුත් ප්‍රකාශිතව එකඟ වී තිබෙන සහ දිගටම ප්‍රකාශ කරන මේ ආර්ථික හා මුල්‍ය අරමුදලේ විසඳුම් මාර්ගය අද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විසඳුම් මාර්ගය එක්ක එකට අපේ රට ගොඩගමු කියන ක්‍රියාමාර්ගයට මේ අවස්ථාවේ සහයෝගය දක්වන ලෙස පාර්ලිමේන්තුවෙන් අපි ඉල්ලා සිටිනවා. "