සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳව නිලවශයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුව අද (26) පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විය.
මෙහිදි අදහස් දැක්වූ පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා පැවසුවේ , ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන බවයි.
2022, COP 27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ බව කී අමාත්‍යවරයා,
අදාළ සියලු පාර්ශව සමඟ හමුවක් පැවැත්වූ බව ද පැවසුවේය.
ජෛව විවිධත්වයෙන් අනූන රටක් වන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් යුතු පාරිසරික තත්වයන් ඇති රටවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා අතර එම ජෛව විවිධත්වය සුරැකීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අප රට කටයුතු කිරීම ද ඉතා වැදගත් බව මෙහිදී පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී පසුගිය වසරේ පැවති COP 26 සමුළුව සඳහා ද ශ්‍රී ලංකාව සක්‍රීය දායකත්වයක් ලබා දුන් බවත් මෙවර ද එලෙසම සක්‍රීය දායකත්වයක් ලබා දීමට කටයුතු කරන බවත් කී අමාත්‍යවරයා ,මේ හා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව මෙහෙයුම් කමිටුවක් පත් කරන බවත් දේශගුණික විපර්යාස ඇති නොවන අයුරුන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා තමා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් පැවසීය
මෙවර COP 27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව නියෝජනය කිරීමට විවිධ පාර්ශව සක්‍රීයව දායක කර ගන්නා බව ද තරුණ තරුණියන්, මාධ්‍ය ආයතන, පුද්ගලික ආයතන, ස්වෙච්චා සංවිධාන සහ පරිසර සංවිධාන නියෝජිතයන් සහිත නියෝජනයක් මෙම සමුළුවට සහභාගීකරවීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා පියවර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද ඒ සඳහා රටක් ලෙස දියහැකි සියලු සහය ලබාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මාධ්‍ය හමුව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලෙ (Maged Mosleh) මහතා, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරා හල්ටන් (Sarah Hulton) මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) මහතා ඇතුළු පිරිසක් ද සහභාගීවූහ.