විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සැප්තැම්බර් 26 වැනි සඳුදා දින, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය හමුවිය.
තානාපති මැකේන් මහත්මිය ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) යන නියෝජිතායතනවල එක්සත් ජනපද නියෝජිතවරිය වේ. FAO, WFP, සහ IFAD යන නියෝජිතායතනවල අයවැය සඳහා විශාලතම මූල්‍ය දායකත්වයක් සපයන්නේ එක්සත් ජනපදය යි.
රෝමයේ පිහිටි FAO, WFP සහ IFAD යන නියෝජිතායතන හරහා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය තහවුරු කිරීම සඳහා තානාපති මැකේන් මහත්මිය සිය සංචාරය ඔස්සේ මෙරටට ලබා දුන් සහයෝගය විදේශ කටයුතු ලේකම්වරියගේ පැසසුමට ලක් විය.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මතුව ඇති ගැටළු විසඳීම සඳහා එක්සත් ජනපදය ගෙන ඇති මෑත කාලීන ක්‍රියාමාර්ගය පිළිබඳව විදේශ කටයුතු ලේකම්වරිය දැනුම්වත් කළ තානාපති මැකේන් මහත්මිය, ජනතාවගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සහතික කිරීම සඳහා රජය දරන පරිශ්‍රමයට සහය වීම සඳහා ශ්‍රී ලංකාව වෙත සිය ස්ථිර සහ අඛණ්ඩ සහය ලබා දෙන බවට සහතික විය.
විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය සහ තානාපති මැකේන් මහත්මිය මෙහිදී දේශගුණික විපර්යාසවල බලපෑම සහ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි නිවර්තන කලාපයේ රටවල් පිළිබඳව සාකච්ඡා කළහ.
වත්මන් ආර්ථීක තත්ත්වය ළමුන් මත එල්ල කොට ඇති අසමානුපාතික බලපෑම පිළිබඳව සඳහන් කළ ඔවුන් දෙපළ, ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා විසඳුම් සෙවීමේ ක්‍රම මෙන්ම අභියෝග මධ්‍යයේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා වන ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ.
තානාපති මැකේන් මහත්මිය, එක්සත් ජනපදයේ හිටපු සෙනෙට් සභික දිවංගත ජෝන් මැකේන් මහතාගේ භාර්යාව යි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය, රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද තානාපති මැකේන් මැතිනිය සමඟ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද විදේශ කටයුතු ලේකම්වරිය සමඟ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.