මෙම වැඩපිළිවෙල දිවයින පුරා සිටින ආයුර්වේද, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිටින ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගනිමින් පුළුල් වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක අතර ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන, පාසල් සංවර්ධන සමිති, ආදී ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණය කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව දරුවන් දේශීය ආහාර පරිභෝජන රටාවට හුරු කරවමින් දේශීය සහල් අල වර්ග, කැඳ වර්ග, පලා ඇතුළු ශාකමය ආහාර පරිභෝජනය තුළින් ඔවුන්ගේ පෝෂණ ඌණතා මග හැරවීම උදෙසා විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ වන විට දියත් කර ඇත.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මග හැරවීම උදෙසා පෝෂණීය ගුණයෙන් යුතු ඔසු කැඳ වීදුරුවක් ලබා දීමේ මෙම වැඩපිළිවෙල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් නියමු ව්‍යාපෘතිය කැලණි මහා විද්‍යාලයෙන් ආරම්භ වූ අතර ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 03 වන දින දිවයිනම ආවරණය වන පරිදි පාසල් 1000 ක ක්‍රියාත්මක වනු ලබයි.
මෙම විශේෂිත ඖෂධීය කැඳ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත වට්ටෝරුවකට අනුව පිළියෙල කරනු ලබන අතර ඒ සඳහා රතු කැකුළු, හීනටී, පච්චපෙරුමාල්, සුවඳැල් අන්තර්ගත සහල් මිශ්‍රණයක් සහ පොල්, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සුදුරු, කලුදුරු, දෙව්දුරු, පෙරුම්කායම්, වියළි කහ, අසමෝදගම්, උළුහාල් යන ඖෂධ අන්තර්ගත මිශ්‍රණයක්ද එක් කරනු ලබයි.
මෙම සමාරම්භක වැඩසටහන කැලණිය මෙට්ට්‍රෝ සිංහ සමාජය, සියපත සංවර්ධන පදනම සහ ආදී ශිෂ්‍ය සංගමය ඒකාබද්ධව ක්‍රියාවට නැංවූ අතර එම අවස්ථාව සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානී අමරසිංහ, කැලණිය සිංහ සමාජයේ සභාපති කිත්සිරි රණවීර, කැලණිය මහා විද්‍යාලයේ විදුහල්පති ඩී.ජී. සුරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.