22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (29) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තුව අද (3 වැනි සදුදා ) සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතය. 3 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහායි. ඔක්තෝබර් 7 වැනි සිකුරාදා හැර 4 වැනිදා සිට 6 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
මේ අතර ලබන 4 වැනි අගහරුවාදා සිට ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට වෙන්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමටත්, එම කාලය පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ලබා දීමටත් මෙහිදී තීරණය වී ඇත. ඒ අනුව ප.ව 4.30 ට අවසන්වීමට නියමිත ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට අදාළ කාලය ප.ව 5.00 දක්වා දීර්ඝ වනු ඇත. ප.ව 5.30 දක්වා ඉතිරි මිනිත්තු 30 ක කාලය, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා දිනක් හැර දිනක් මේ අනුව වෙන් කිරීමට ද මෙහිදී එකගත්වය හිමිවී ඇත.
ඔක්තෝබර් 4 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමය , 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සදහන් නියමයන් විවාදයට ගැනීමට නියමිතය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ (Ease of Doing Business Index) අගය ඉහළ නැංවීම වෙනුවෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබද සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබද යෝජනාවද එදින විවාදයට ගැනීමට නියමිතව ඇත. ( මෙම යෝජනාව පිළිබද වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ 2022.09.09 දිනැති පරිපූරකයේ අයිතම අංක 2022/33 යටතේ අන්තර්ගත වේ)
අනතුරුව ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවකට අනුව විවාදය ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ. ඔක්තෝබර් 5 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 12.30 දක්වා 1977 අංක 8 දරන උදර්පණ පනත යටතේ අංක 2282/19 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය විවාදයට ගැනීමටද මෙහිදී තීරණය වී ඇති බව මහලේකම්වරයා පැවසීය. ඉන්පසුප.ව 1.00 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සිදුකරන සංශෝධන පිළිබද විවාදය දෙවැනි දිනටත් පැවැත්වේ. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.
ලබන 6 සහ 7 දෙදින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ අනුව 6 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ද විවාදය පැවැත්වේ. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවකට අනුව විවාදය පැවැත්වීමට නියමිතය.
එසේම ලබන 7 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.