පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    වනසතුන් දරුවන් මෙන් රැකබලා ගතයුතුයි- වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

    ඔක්තෝබර් 05, 2022

    වනසතුන් දරුවන් මෙන් රැකබලා ගතයුතු බවත්, එම වගකීම රජයට මෙන්ම මහජනතාව සතුව පවතින වගකීමක් බවත් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ නව කලාප කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට (04) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම නව කලාප අතර, සුරතල් සතුන්ට ආහාර ලබාදීමේ කලාපයක්, පක්ෂි උද්‍යානයක්, සංචාරක පක්ෂීන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් සහ ශාක භක්ෂක සතුන් සඳහා වන කලාපයක් ද සත්ව සංරක්ෂණ අභිජනන මධ්‍යස්ථානයක් ද අමාත්‍යවරයා අතින් විවෘත විය.

    ලෝක සත්ව දිනය (04) යෙදී ඇති බැවින්, එම දිනය සැමරීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව රිදියගම සෆාරි උද්‍යානයේ නව කලාප විවෘත කිරීමට කටයුතු යොදා තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා;
    “වන සතුන් වඳ වී යන වේගය සලකා බැලුවහොත්, අනාගතයේදී ඇතැම් වන සතුන් අනාගත පරපුරට දැක ගැනීමට ලැබෙන්නේ සත්වෝද්‍යාන හා මෙවැනි වන සංරක්ෂණ මධ්‍යස්ථානවලින් පමණි. වන සතුන් රැකබලා ගැනීම සහ සංරක්ෂණය මෙවැනි ජාතික වනෝද්‍යානවල අරමුණ වනවා මෙන්ම, රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් ද මෙ‍මඟින් සැලසී තිබෙනවා. අපි දන්නවා වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධානම ගැටලුව විදේශ විනිමය හිඟකමයි. මෙරට විදේශ විනිමය උපයා ගැනීම සඳහා තිබෙන හොඳම අවස්ථාව සංචාරක කර්මාන්තයයි.

    පසුගිය පාස්කු ප්‍රහාරයේදී බිඳ වැටුණු සංචාරක කර්මාන්තය කොවිඩ් - 19 වසංගත තත්ත්වයත් සමඟ අසීරු තත්ත්වයකට පත්වුණා. නමුත් කොවිඩ් - 19 වසංගතය තුරන් වීමත් සමඟම නැවතත් යම් මට්ටමකට සංචාරක කර්මාන්තය දියුණු වුවත්, පසුගිය දිනවල පැවති අරගල, පෙළපා‍ලි සහ උද්ඝෝෂණ නිසා නැවතත් සංචාරක කර්මාන්තය කඩා වැටුණා.

    නමුත් මේ වනවිට නැවතත් හොඳ තත්ත්වයක් සංචාරක කර්මාන්තය තුළ වර්ධනය වෙමින් පවතින බව පෙනෙනවා. නමුත් සමහර පිරිස් නැවතත් රට අස්ථාවර කරන්නට කටයුතු කළහොත්, රට යළි දුෂ්කර තත්ත්වයකට පත්වන බව කිව යුතුයි.

    මෙම සෆාරි සත්වෝද්‍යානය විවෘත වීම මඟින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල සහයෝගයක් ලැබෙනවා.වන සතුන් රැකබලා ගත යුත්තේ, රජය පමණක් නෙමෙයි. ඒක ජනතාව සතු වගකීමක්. එම නිසා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා විදිහට අප රටේ වන සත්ව සම්පත සුරකීම හා සංරක්ෂණය කිරීම සඳහා මම මගේ පැත්තෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් හා වගකීම් ඉටුකරනවා” යැයි ඇමතිවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya