ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව පිළිගත් පුද්ගලයෙකු ඒ පිළිබදව කනගාටුව ප්‍රකාශ කරමින් (04) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී සමාව ගැනීම සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාට අපහාසාත්මක අයුරින් පළ කර තිබූ මෙම වීඩියෝව තුළින් ඒමහතාගේ වරප්‍රසාද කඩවී ඇතිබවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ෆේස්බුක් පිටුව අයත් යෝහරාසා ශාන්තිරකුමාර් නම් පුද්ගලයා වරප්‍රසාද කමිටුවට ඊයේ කැදවා තිබිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක
සභාවේදී මෙම සිදුවීමට අදාළ විමර්ෂණ කටයුතු සිදුවිය.
මෙහිදී තමා අතින් මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවී ඇති බව එම පුද්ගලයා පිළිගැනීම නිසා දෙපාර්ශවයේ එකගතාව මත කොන්දේසි සහිතව සිද්ධිය සමථයකට පත්කිරීමට තීරණය විය. මේ අනුව මේ පිළිබඳව කනගාටුව පළ කරමින් සමාව අයැද ප්‍රසිද්ධ පුවත්පතක මෙන්ම එම ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් පළ කිරීම යන කොන්දේසි මත පැමිණිල්ල විභාග කිරීම අවසන් කරන ලද අතර ඉදිරියේදී මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙස තරයේ අවවාද කරමින් කමිටුව විසින් ඔහුව නිදහස් කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ පොදුවේ පාර්ලිමේන්තුව පිළිබදව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළහොත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ දඩුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට මෙන්ම
ශ්‍රේෂ්ඨාධිකරණයට පවතින බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු බලය යටතේ අවවාද කිරීමට හෝ සය මසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමට ද බලය පවතින බවත්, යම් වරදක් සිදුවී ඇති බව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකි බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව ඊට වරදකරු වුවහොත් වසර දෙකකට නොවැඩි සිර දඩුවමකට හෝ දඩ මුදලකටද නොඑසේනම් මෙම දෙකටමද යටත් කළ හැකි බවද සභාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මේ අතර පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන්ටම අපකීර්තියක් ගෙන දෙන අයුරින් අසත්‍යය ප්‍රවෘත්තියක් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධානපෙළේ සිංහල දිනපතා පුවත්පතක පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට ඊයේ (04) කැදවන ලදී. “මැතිසබේ කැන්ටිමේ දියර කිරි හිඟවී මන්ත්‍රීවරු යකා නටති” යන සිරස්තලය යටතේ 2022 මාර්තු 09 දින එම පුවත්පතේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.
මේ අනුව මෙම අසත්‍ය ප්‍රවෘත්තිය හරහා සමස්ත පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් කෙරෙහි මහජනතාව තුළ වෛරයක් ඇතිවීමට හේතුවී ඇති බව කැටගොඩ මන්ත්‍රීවරයා පැවසීය. මේ පිළිබදව පාර්ලිමේන්තුවේ ආහාර හා ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාද කාරක සභාව ඉදිරියට කැදවන ලද අතර මෙහිදී ඔහු පවසා සිටියේ මේ පිළිබදව තමා සොයාබැලීමක් සිදුකළ බවත් එහිදී එවැනි කිසිදු සිදුවීමක් පිළිබද තොරතුරු වාර්තා නොවූ බවත්ය.
මේ අනුව අසත්‍ය තොරතුරු පළ කිරීමක් මගින් සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවයට හානියක් සිදුවී ඇති බව පෙනී යන බවත්, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් ලෙස වඩාත් වගකීමෙන් යුතුව වාර්තාකරණයේ නියැලීමේ අවශ්‍යතාවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අධිකරණයමය ක්‍රියාමාර්ගවලින් තොරව මෙය විසදා ගැනීමට දෙපාර්ශවය එකග විය. මේ අනුව මෙම අසත්‍ය තොරතුරු පළ කිරීම පිළිබදව කනගාටුව පළ කරමින් ප්‍රකාශයක් සති දෙකක් තුළ පෙර ප්‍රවෘත්තියට ලබා දුන් ප්‍රසිද්ධියම ලබා දෙමින් අදාළ පුවත්පතේ පළ කිරීම සහ එහි පිටපතක් සතියක් තුළ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එවීම, ඉදිරියේදී පාර්ලිමේන්තුව හෝ මන්ත්‍රීවරුන් කෙරෙහි එවැනි අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ පළකිරීමෙන් වළකින බවටද එකගවීම යන කොන්දේසිවලට යටත්ව මෙය සමථයකට පත්කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය. එසේම මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට ලිඛිතව දන්වන ලෙසද නියෝග කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ “වට්ස්ඇප්” දුරකථන ඇමතුම් පිළිබද දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නෛතික අවසරයකින් තොරව ලබා ගැනීම නිසා මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමට අදාළව සිදුකර තිබූ පැමිණිල්ල පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යවරයෙකුව සිටි සමයේ එම අමාත්‍යාංශයේ සිදුවූ මූල්‍ය අවභාවිතාවක් පිළිබද සිදුකරන පරීක්ෂණයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දත්ත ලබා ගෙන ඇතිබව ද මෙහිදී සදහන් විය.
මේ අනුව මේ පිළිබද ඉදිරි කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලබන 18 වැනිදා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැදවන ලෙස නියෝග කළේය.
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, තලතා අතුකෝරාළ, කෝකිලා ගුණවර්ධන සහ වීරසුමන වීරසිංහ යන කාරක සභා සාමාජික මහත්ම මහත්මීහු ද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.