පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම ඇරඹේ

    ඔක්තෝබර් 13, 2022

    එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැරීම මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙන බව කෘෂීකර්ම අමාත්‍යංශය පවසයි.

    ගොවි සංවිධාන සිදු කළ ඉල්ලිම් පරිදි මෙම යුරියා පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.

    වී වගාව සඳහා අවශ්‍ය පොහොර තොග ගොවි ජනතාවට මිල දී ගැනීම සඳහා කඩිනමින්යවන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල සමාගම් දෙකට උපදෙස් දෙනු ලැබීය. මේ සම්බන්ධව ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.


    ඒ අනුව මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678.43කි. එම බිම් ප්‍රමාණය රටේ මහ කන්නයක දී වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට 100කි.


    කුඹුරු වගා කිරීම ඇතැම් දිස්ත්‍රික්කවල ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කෙරෙනුයේ ඔක්තෝබර් තුන්වන සතියේ සිටය. එම නිසා වී වගා කර සති දෙකක් තුළ යුරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතුය. එම කාරණය ඉලක්ක කර ගනිමින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබේ.


    ඒ අනුව සැප්තැම්බර් මස 29 සිට ඔක්තෝබර් 10 දක්වා කාලය තුළ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම දිස්ත්‍රික්ක 07කට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් බෙදා හැර තිබේ. එමෙන්ම ලංකා පොහොර සමාගම බෙදා හැර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,698කි.


    මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබේ. පසුගිය යල කන්නයේ මෙන් නොව මෙවර මහ කන්නයේ දී පොහොර ලබා දෙන ප්‍රමාණය හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 100ක් වශයෙන් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ප්‍රමාණය ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

     

    එක් එක් දිස්ත්‍රික්ක අනුව හෙක්ටෙයාර් එකකට ලබා දෙන පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 176 සිට 230ක් දක්වා ප්‍රමාණයක් ලබා දීමට කටයුතු යොදා තිබේ.


    යල කන්නයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ ලැබුනු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් බෙදා හැර ඉතිරිව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34,000කි. එම ප්‍රමාණයත් , තවත් සති දෙකක් ඇතුළත මහ කන්නයේ දී පොහොර ටෙන්ඩරය යටතේ මිල දී ගන්නා ලද මෙට්‍රික් ටොන් 12750ක යුරියා පොහොර ප්‍රමාණයත් නිසා වගාවේ පළමු යුරියා පොහොර යෙදුම සඳහා කිසිදු බාධාවකින් හා අඩුපාඩුවකින් තොරව ගොවීන්ට පොහොර ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya