පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    මෙවර මහ කන්නයේදී කාබනික පොහොර නමින් අපද්‍රව්‍ය එවුවොත් එම සමාගම්වලට වැඩ වරදී

    ඔක්තෝබර් 14, 2022

    2021 මහ කන්නයේ දී කාබනික පොහොර යයි හඳුන්වමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළුව පැවසීය.

    (12 දින) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ජාතික ගොවි සමුළුව මෙම කරුණු අනාවරණය කළ අතර, මෙවර මහ කන්නයේදී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික නොකර ගොවීන්ට නිකුත් නොකරන ලෙස ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් කාබනික පොහොර සාම්පලවල ප්‍රමිතිය පරීක්ෂා කරන අතරම, ගොවිජන මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට මිලදී ගැනීම සඳහා සපයන කාබනික පොහොර සියල්ලම වරින් වර පරීක්ෂාවට ලක් කිරීමටත්, ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර පමණක් ගොවීන්ගේ තෝරා ගැනීම යටතේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බවත්, කාබනික පොහොර මිල දී ගැනීම සඳහා එක් ගොවියෙකුට රු.20,000ක මුදලක් රජය මඟින් සහනාධාර වශයෙන් ලබා දීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රමිතියෙන් බාල කාබනික පොහොර සපයන සමාගම් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා පියවර කුමක්දැයි ගොවි නියෝජිතයෝ විමසා සිටියහ. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සපයන කිසියම් ආයතනයක් තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයූ බවට තොරතුරු හෙළි වුවහොත් එම සමාගම් අනිවාර්යයෙන්ම අසාදු ලේඛනගත (Black List) කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද සියලු ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන්නේ නම්, බොහෝ ගැටළු විසඳා ගැනීමට හැකි වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya