‘‘දරිද්‍රතාවයේ සිට සැම්සුන්ග් දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්‘‘ කෘතිය එලි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කළේය.
මාධ්‍යවේදී මිලින්ද රාජපක්ෂ සහ චානුක වත්තේගම යන මහත්වරුන් විසින් රචනා කළ මෙම කෘතිය එළි දැක්වීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
‘‘සංවර්ධනය අතින් ගත් කළ අපේ රට මේ ගත කරමින් සිටින්නේ ඉතිහාසයේ ඉතාමත් නරකම අවදිය. නිදහසින් පසු අපේ රට ආවෘත ආර්ථිකය, 1977න් පසු විවෘත ආර්ථිකය වැනි විවිධ සංවර්ධන මොඩලයන් පාවිච්චි කර තිබෙනවා. විවිධ අවස්ථාවල එම මොඩලයන් වෙනස් වෙමින් ගමන් කර තිබෙනවා. නිදහස ලැබෙන විට අපේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො.120යි. මෙය ඩොලර් දහසේ මට්ටමට ගෙන එන්නට වසර 56ක් ගතවී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල් සම්ප්‍රදායික වෙළඳපොල ක්‍රමයත් සෝවියට් දේශය, මහජන චීනය ඇතුළු අනෙකුත් රටවල් මධ්‍යගත සැලසුම් ක්‍රමයත් අනුගමනය කරද්දී අපි රටක් ලෙස මේ දෙක අතර අන්ද මන්දව කටයුතු කළා. විවිධ හේතුන් මත අපේ රටේ දේශපාලනඥයන්ට එක් ප්‍රතිපත්තියක් හෝ සංවර්ධන මොඩලයක් පවත්වා ගැනීමේ ශක්තියක් තිබුණේ නැහැ. සිංගප්පූරුව මැලේසියාව වැනි ආසියාවේ බෝහෝ රටවලට පෙර අපේ රටට ගැලපෙනම ආර්ථික මොඩලය ඉදිරිපත් කළේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා. එතුමා ප්‍රකාශ කළේ අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. අපේ තරුණ පිරිස් ඇමරිකාව, ජපානය, ජර්මනිය, ඉන්දියාව,හොංකොං,ප්‍රංශය හා එංගලන්තයට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මය, වාරි කර්මාන්තය ආදී නව විෂයන් ගැන දැනුම ලබාදී නැවත ලංකාවට ගෙන්වා ගෙන ජාතිය ගොඩ නැගීමේ කාර්යය ආරම්භ කළ යුතු බවයි. ඉංග්‍රීසි හා වෙනත් විදේශීය භාෂාවන් ඉගෙනීමත්, දක්ෂ විශේෂඥ දැනුමක් ඇති පරිපාලන නිළධාරීන් පමණක් වගකිව යුතු උසස් තනතුරුවලට පත්කල යුතු බවත් එතුමා සඳහන් කළා.
අවාසනාවකට අපට එසේ කළ නොහැකි වූ නිසා අද වන විට විදේශ ණය වාරික ගොවාගත නොහැකි රටක් බවට පත්ව තිබෙනවා. දීර්ඝ කාළයක් ආදායමට වඩා වියදම් කරලා, සියලුම රජයන් යටතේ පැවති විශාල අය වැය පරතරය පියවීමට දේශීය හා විදේශීය ණය ලබාගෙන, ලබාගත් ණය ගෙවීම සඳහාත් ණය ලබාගෙන එය නතර කිරීම නිසා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට අද අප මුහුණ දී සිටිනවා.
අද අපේ විශ්ව විද්‍යාලවලින් 50%කට වඩා වැඩි කළා උපාධිධාරීන් බිහිවෙනවා, ඔවුන්ට කරන්නට රැකියා නැහැ. ආර්ථිකය තුල තිබෙන රැකියා වලට අවශ්‍ය උගතුන් බිහි වන්නේ නැහැ. බොහෝ දෙනෙක් විභාග සමත්, ජීවිතය අසමත්. ඒ හේතුවෙන් මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස 2013 වසරේ බාධක රාශියක් මැද තාක්ෂණ විෂය ධාරාව උසස් පෙලට හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේ හැමදාම තිබුණු විෂය ධාරා තුන හතරක් කරනවාට බරපතල විරෝධයක් තිබුණා. නමුත් විෂය ධාරාව හඳුන්වා දීලා තාක්ෂණ පීඨ දහසක් ඉදිකලා. පරිගණක විද්‍යාගාර, විදේශ භාෂා ඉගෙනීම සඳහා භාෂාගාර, ගණිතගාර, දුරස්ථ අධ්‍යාපන ඒකක ඇතුළු පහසුකම් රැසක් හා ප්‍රායෝගික ක්‍රියාකරකම් සඳහා තාක්ෂණ පීඨ 251ක් ඒ වෙනුවෙන් ඇති කලා. මේ සියල්ල අප කළේ ඉතාමත් දැඩි බාධාවන් රැසක් මැද. ‘‘ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යය‘‘ නමින් මේ පිලිබඳ මම පොතක් ලිව්වා. 2013 මම තාක්ෂණ අධ්‍යාපනය ආරම්භ නොකලා නම් අදත් විශ්ව විද්‍යාලවල තාක්ෂණ පීඨ ඇත්තේත් නැහැ. තාක්ෂණ විද්‍යා උපාධිධාරීන් බිහි වන්නේත් නැහැ. ඇත්තෙන්ම දේශපාලනඥයින්ට යහපත් දේවල් කරන්නට බාධා කරන නිළධාරී බාධක ප්‍රමාණයක් මේ රටේ පවතිනවා. මේ රට නැවත ගොඩනැගීම සඳහා අපි සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයයි.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, කොරියානු තානාපති කාර්යාලයේ නිළධාරීන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.