"සෙනෙහස් අරණ"නමින් රජයට අයත් ගොඩනැගිලි කිහිපයක ස්ථාපනය කල මෙම මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආණ්ඩුකාර කාර්යාලය මගින් ලබා දුන් මුදල රුපියල් මිලියන හතරකට ආසන්නය.
පරිවාස භාරයට පත් වන මෙම දරුවන් සඳහා අම්පාර නගරයේ කුඩා භූමි ප්‍රමාණයක අඩු පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් තිබූ අතර මීට වසරකට ප්‍රථම ආණ්ඩුකාරවරිය එය නිරීක්ෂණය කිරීම සඳහා එක් වූවාය.
ඒ අවස්ථාවේ එම දරුවන් ආණ්ඩුකාරවරිගෙන් විශේෂ ඉල්ලීමක් කළහ. ඒ ඉඩ පහසුකම් ඇති ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසය.
ඒ වනවිටත් ඔවුන් සිටි එම මධ්‍යස්ථානය ඉතා කුඩා ගොඩනැගිල්ලක දැඩි දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ගියේය.
මෙම දරුවන්ගේ අහිංසක ඉල්ලීම ආණ්ඩුකාරවරියගේ හදවතට තදින්ම දැනුණ අතර ඒ අවස්ථාවේ සිටම ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ඇය කටයුතු කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා දැඩි පරිශ්‍රමයක් යොදා එම දරුවන්ට නව නිවහනක් ලබාදීමට ආණ්ඩුකාරවරිය කටයුතු කිරීම එම දරුවන්ට මහත් අස්වැසිල්ලක් විය.
අම්පාර දිස්ත්‍රික්කයේ බොහොමයක් ආයතනවල නිලධාරීන් මේ සඳහා උදව් උපකාර කිරීමද විශේෂත්වයකි
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක,පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් රිස්වානි රිෆාස්, අම්පාර ප්‍රාදේශීය ලේකම් අනුරාද සඳරුවන්,නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංක,අම්පාර නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.