පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍යට මෙන්ම පෝෂණ තත්ත්වයට ශ්‍රී ලංකාව ප්‍රමුඛ අවධානයක් - සෞඛ්‍ය ඇමති ඇමරිකානු තානාපතිනියට කියයි

    ඔක්තෝබර් 18, 2022

    කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය තුළ ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි රජය මේ වන විට ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය හමුවේ  පැවසීය.

    ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඉහළම අවධානයක් යොමු කර ඇති පසුබිමක ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය කෙරෙහිද ඒ තුළ ප්‍රමුඛ අවධානය ලබා දී ඇතැයිද ඒ මහතා කීය.

    ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති Julie J.Chung මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුව (17) එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.

    මෙහිදී ඇමරිකානු ඩොලර් 70,000 ක් පමණ වටිනා හදිසි ප්‍රතිකාර මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කිරීම සිදුවිය.මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක අතර ඒ් අනුව දිවයිනේ තෝරාගත් රෝහල්හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය මෙන්ම හදිසි ප්‍රතිකාර සේවා ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් ඒය ක්‍රියාත්මක කෙරේ.

    ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කාර්ය සාධක බලකායක්ද ඉකුත් සතියේ පිහිටුවනු ලැබූ බවත් එහි මූලික වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. විශේෂයෙන් ළමා සෞඛ්‍ය හා පෝෂණවේදය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් විසින් දැඩි අවධානය යොමු කරමින් වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇතැයි ද ඒ තුළ දරුවන් , ගැබිණි මව්වරුන් හා වැඩිහිටි කණ්ඩායම් තුළ ඉලක්කගත පිරිස් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකරනු ලබන්නේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. එමෙන්ම මෙම කණ්ඩායම්හි පෝෂණ මට්ටම හඳුනා ගැනීමට පමණක් සීමා නොකර එහි ඇතිවන තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇතැයි ඒ මහතා කීය.

    වත්මන් අර්බුද මේ වන විට කළමනාකරණය කර ගනිමින් සිටින බවත් ඒ තුළ ඖෂධයන් හි යම් යම් හිඟ තාවයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා සපුරා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය. ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහල් කරා යොමු වන ඇතැම් පිරිස් රජයේ රෝහල් කරා පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇති වීම තුළ යම් යම් ඖෂධයන්හි හිඟතාවයක් ඇතිවන තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදී මිත්‍ර රටවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ මොහොතේ ලැබෙන පරිත්‍යාග, ණය ආධාර වැඩසටහන් ද ඖෂධ හිඟය අවම කරගැනීමට ඉතා වැදගත් වන බව අමාත්‍යවරයා කීය.

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශයන්හි සේවය කරන වෛද්‍යවරු සඳහා නිල නිවාස පහසුකම් ඉහළ නැංවීමටත් අනෙකුත් කාර්ය මණ්ඩලය සඳහා පහසුකම් ඉහළ නැංවීමටත් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක සේවාවක් අපේක්ෂා කරන බවද කීය.

    ජාත්‍යන්තරික සෞඛ්‍ය දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙරට සෞඛ්‍ය සේවාව දකුණු ආසියාවේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලෙස මේ වනවිටත් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති Julie J.Chung මහත්මිය.

    කොවිඩ් වසංගතයෙන් සාර්ථක ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය ළඟා කරගෙන ඇති බවත් එහිදී එන්නත්කරණය ට ප්‍රමුඛතාවයක් ලබා දීම විශේෂයෙන් සැලකිය යුතු බවත් කීය . ආර්ථික අතින් සවිමත් විශාල රටවල් කොවිඩ් ව්‍යසනයේදී දැඩි අවදානමකට ලක්වූ බවත් ශ්‍රී ලංකාව එවැනි අවදානම් තත්ත්වයකට පත් නොවීම ගැන සතුටු වන බවත් ප්‍රකාශ කළාය.

    මෙම අර්බුදය මග හරවා ගැනීමට මෙන්ම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීමට ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඒ් මහත්මිය පැවසුවාය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙයට ඒක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya