පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වෙයි

    ඔක්තෝබර් 19, 2022

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වෙයි

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී(18) රැස්විය.

    ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාවය, අස්වැන්නේ ඉදිරි අඩුවීම, මන්දපෝෂණ තත්ත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජීය අතුරුඵල ආදිය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රටේ ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම කමිටුව විසින් මීට පෙර සිදු කරන ලදී. විශේෂයෙන් වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ
    තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙහිදී සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය වහාම සිදු කරන ලෙසයි. මෙම අදාළ සමීක්ෂණය 2019න් පසු සිදු කොට නොමැති බවද සභාපතිවරයා දැනුම් දුන්නේය. එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරදි තොරුතුරු ලැබෙන බවත් එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙල සැකසීමේදී ඉත‍ා වැදගත් වන බවද රණවක මහතා සඳහන් කළේය.

    රට තුළ බදු වැඩි කිරිම් ආදී ක්‍රියාමාර්ග මගින් ආදායම් වැඩි කළද එහි අතුරු සමාජීය ප්‍රතිඵල ලෙස කර්මාන්ත පවත්වා ගැනීමේ ගැටළුව, රැකියා අහිමිවීම් සහ පෝෂණය තත්ත්වයන් පහත වැටීම වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටද මෙහිදී සාකච්ඡා විය.

    එමෙන්ම පුද්ලයෙකුගේ ජීවිතයේ මුල් දින 8000 නිසි පෝෂණ තත්ත්වයෙන් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා පවතින ආහාර නිසි සුරක්ෂිතතාවෙන් යුතුව පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් පළ විය.

    ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති, කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි, රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර, ආහාර කොමසාරිස් උපුල් ශාන්ත අල්විස් මහතා, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.

    මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාරන්තන් සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya