ඒ යටතේ 2021 මහ කන්නයෙන් පසු වී වගාවට බණ්ඩි පොහොර ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් සෑම වී වගා කරන ගොවියෙකුටම අවශ්‍ය බණ්ඩි පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීම් බාරව කටයුතු කරන සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.
විශේෂයෙන් මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP) පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40කි.
ලෝක වෙළෙද පොළේ MOP පොහොර ඉතා මිල අධික බැවින් ගොවීන්ට මෙම පොහොර මිල දී ගැනීමේ දී ඔවුන්ට කිසියම් සහනයක් සැලසීමේ පියවරක් අනුගමනය කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කාරණය සැළකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් කෝටි 1000ක මුදලක් ලබා දීමට නියමිතය. එම මුදල යොදා ගනිමින් සෑම වී වගා කරන ගොවියෙකුටම බණ්ඩි පොහොර හෙවත් MOP මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහන මුදලක් බැගින් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.
වී වගාවේ දී ගොයම් කරල් ශක්තිමත්ව වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් මෙම බණ්ඩි පොහොර යෙදිය යුතුය. දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් පිරිනමා අවසන් කර තිබේ. එම පොහොර තොගය නොවැම්බර් මස අවසන් වන විට මෙරටට ලැබීමට නියමිතය.
යුරියා පොහොර මෙන්ම බණ්ඩි පොහොර ද ගොවීන්ට ලබා දීමට අවශ්‍ය සියලු පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ගෙන ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අවධාරණය කර සිටී.
මෙවර මහ කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,000ක් වේ.